රෝස මලක් වගේ ඉන්න දෝණිට රෝස පැහැයෙන් ගවුමක්

ජුනි 20, 2022

 

රෝස මලක් වගේ ඉන්න දෝණිට රෝස පැහැයෙන් ලස්සනට මැසූ ගවුමකි. ලේස් හා රෝස මල් මුද්‍රිත රෙදිවලින් මසා ඇති මේ ගවුම ඔබේ දියණියටත් මෙලෙසින් මසා දෙන්න. මුද්‍රිත රෙදි තෝරා ගැනීමේ දී කපු හෝ කප්‍ර මිශ්‍ර රෙදි තෝරාගන්න.

 

අවශ්‍ය මිමි

උරහිස = අඟල් 11

කර වට = අඟල් 12

කර ගැඹුර = අඟල් 4

ඉණ දක්වා උස = අඟල් 14

පපුව වට = අඟල් 29

ඉණ වට = අඟල් 26

සාය උස = අඟල් 25

අත උස = අඟල් 4

කැප් උස = අඟල් 2.5

අත අග වට = අඟල් 7

පතරොමේ අත් කට = අඟල් 6

 

දියණියට මසා ඇති ගවුම සදහා ලෙස් එකක් හා රෙදි භාවිතකර ඇති අතර එය ගැළපෙන අයුරින් තෝරාන්න. බ්ලවුසයේ උඩින් කොටසක් ඉවත්කර එම ලෙස් එක භාවිතකර ඇත.

බ්ලවුසය සඳහා පතරොමක් සාදාගන්න. එහි ඉදිරිපස පතරොම සාදා ගැනීම සඳහා නැම්මට තබා ගන්න. ඉහළින් හරහට රේඛාවක් අඳින්න. එය උරහිස රේඛාවයි. උරහිස මිම්ම දෙකට බෙදා එන පිළිතුරට මැහුම් වාසි අඟල් 1/2ක් එකතුකර උරහිස රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AB වේ. B සිට අඟල් 1 1/4ක් පහත් කර A ලක්ෂ්‍යයට යා කරන්න. එය AC වේ.

කර වට ප්‍රමාණය හතරෙන් බෙදා එන පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AD වේ. එම පිළිතුරෙන් අඟල් 1/2ක් අඩුකර ඉතිරි ප්‍රමාණය AC රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AE වේ. DE යාකර මුලීක කර අඳින්න.

E සිට පහතට ඉණ දක්වා උස පහත් කර හරහට රේඛා අඳින්න. අත් කට රේඛාවට උස සෙවීම සඳහා පපුව වට ප්‍රමාණය හතරෙන් බෙදා එන පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AF වේ. හරහට රේඛාවක් අඳින්න. එය අත් කට රේඛාවයි. අත් කට රේඛාවට දිග ලකුණු කිරීම සඳහා පපුව වට ප්‍රමාණය හතරෙන් බෙදා එන පිළිතුරට බුරුල සඳහා හා මැහුම් වාසි එකතු කර අත් කට රේඛාවේ හරහට ලකුණු කරන්න. එය FG වේ. ඉණ වට ප්‍රමාණය හතරෙන් බෙදා එන පිළිතුරට බුරුල සඳහා හා මැහුම් වාසි එකතු කර ඉණ රේඛාවේ හරහට ලකුණු කරන්න. එය HI වේ. GI යාකර අංශය අඳින්න.

අත් කට වක්‍රය ඇඳීම සඳහා C සිට අත් කට රේඛාවට කෙළින් ඉරක් ඇඳ එම රේඛාවේ මැද ලක්ෂ්‍යය ලකුණු කරන්න. උරහිස මිම්මෙන් අඟල් 1/2ක් අඩුකර ඉතිරි ප්‍රමාණය නැම්මේ සිට මැද ලක්ෂ්‍යය දෙසට ලකුණු කරන්න. C සිට එම ලක්ෂ්‍යය කැපී යන සේ රේඛාවක් ඇඳ අත් කට වක්‍රය අඳින්න. කර ගැඹුර පහත්කර හරහට කපා ගන්න. ඉහළ කොටස මැහුම් වාසි තබා ලේස්වලින් කපන්න. එම ලේස් කොටස කැපීමේ දී අංශය පැත්තෙන් පහතට එන ලෙස කපාගන්න. එය රූපසටහනේ පෙන්වා ඇත.

 

පසුපස

පසුපස සඳහා බලවාටියට තබාගන්න. බලවාටියේ සිට අඟල් 1ක් මැහුම් වාසි තබා නැම්ම රේඛාව අඳින්න. ඉදිරිපස පතරොම ගෙන නැම්ම රේඛාව මතින් තබා පසුපස කර ගැඹුර අඟල් 1.5ක් පහත්කර, කර අඳින්න.

ලේස් කොටස සඳහා ඉදිරිපස පතරොම ආකාරයටම අවශ්‍ය ගැඹුර පහත්කර හරහට කෙළින් කපන්න. ලේස් කොටසෙන් පසු මැද කොටස සඳහා නෙට් හෝ ටිෂූ රෙද්දක් භාවිතකර කපාගන්න. එය ඉදිරිපස කරේ මැදට ද භාවිතකර ඇත.

 

අත

අත සඳහා අවශ්‍ය රෙදි කොටස නැම්මට තබා ගන්න. ඉහළින් රේඛාවක් අඳින්න. නැම්මේ උඩ සිට පහතට කැප් උස පහත් කරන්න. එය AB වේ. හරහට රේඛාව අඳින්න. A සිට පහතට උස පහත් කරන්න. එය AC වේ. හරහට රේඛාව අඳින්න. එය වාටිය නැම්ම රේඛාව යි. වාටිය රේඛාව සඳහා මැහුම් වාසි තබා රේඛාව අඳින්න. පතරොමේ අත්කට ප්‍රමාණය A සිට හැඩේට ලකුණු කරන්න. එය AD වේ. එම රේඛාවේ මැද ලක්ෂ්‍යය ලකුණු කර අත් කට වක්‍රය අඳින්න. අත අග වට ප්‍රමාණය දෙකෙන් බෙදා එන පිළිතුරට මැහුම් වාසි එකතුකර වාටිය නැම්ම රේඛාවේ හරහට ලකුණු කරන්න. එය BE වේ. ED යා කරන්න

 

සාය

සාය සඳහා සාය උසට මැහුම් වාසි ද සාය පළල ට රැලි සඳහා එකතුකර රෙදි කපාගන්න.

 

මැසීම

ලේස් කොටස් පතරොම ට තබා මසාගන්න. උරහිස මසන්න. කර වටට ලේස් පටියක් අල්ලා ගන්න. අත අල්ලන්න. සාය රැලි කර ඉණට අල්ලන්න. අංශය මසා වාටිය මසන්න.

 

 

 

උපදෙස්

ප්‍රවීණ උපදේශිකා

දිලුෂි දසනායක