විසිත්ත කාමරය සරසන්න අයිරිස් මල් පොකුරක්

අනගි කතිර රටා
සැප්තැම්බර් 26, 2022

 

'අයිරිස්' අපේ රටේ දැකගත හැකි මලක් නොවේ. නමුත් අපි පින්තූරවලින් මේ මලේ අලංකාරය දැක ඇත්තෙමු. එහි ඇති අසීමිත සුන්දරත්වය පියවි නෙතින් විඳගන්නට නොහැකි වුවත් ඔබටත් පුළුවන් කතිර රටාවකින් ඒ සුන්දරත්වය විඳගන්න. මෙන්න, ඒ සඳහා අවස්ථාව...

 

අවශ්‍ය ද්‍රව්‍ය :

 

අඟලට කොටු 10ක්, 11ක් හෝ 14ක්

ඇති සුදු පාට අයිඩා රෙදි

නොම්බර 24 සිට නොම්බර 26

දක්වා ටැපැස්ට්‍රි ඉදිකටු

අවශ්‍ය වර්ණවල කපු කැරැලි නූල්

රාමුව, ඉදිකටු, කතුර

 

නිර්මාණය කිරීම

 

රෙද්දේ ඇති අඟලට කොටු ප්‍රමාණය අනුව මසන නිර්මාණයේ ප්‍රමාණය වෙනස් වේ. මේ නිර්මාණය අඟලට කොටු 14ක් ඇති අයිඩා රෙද්දේ මසන්නේ නම් සෙන්ටිමීටර් 22.13x43.72 කි. අඟලට කොටු 11ක් හෝ 10ක් ඇති රෙද්දේ මසන්නේ නම් නිර්මාණයේ ප්‍රමාණය තව විශාල වේ. රාමුකර ගැනීමට වටේට ඉඩ තබා රෙදි කොටස කපාගන්න. නිර්මාණයේ හරි මැද සිට හෝ කොටු ගණන් කරමින් මුල සිට මැසීම අරඹන්න.

රෙද්දේ අඟලට ඇති කොටු ප්‍රමාණය අනුව භාවිත කළ යුතු නූල් පොටවල් ප්‍රමාණය ද වෙනස් වේ. අඟලට කොටු 14 නම් නූල් පොටවල් 4ක් සෑහේ. අඟලට කොටු 11ක් හෝ 10ක් නම් නම් නූල් පොටවල් 6 ම භාවිත කරන්න. මෙහි රේඛා මඟින් දැන්වෙන ඒවා නූල් එක් පොටක් හෝ දෙපොටක් භාවිතයෙන් ආපසු මැස්මෙන් මසාගන්න. මෙහි එකම අංකය දෙතැනක තිබුණාට එය ගැටලුවක් කර නොගන්න. එසේ දෙතැනක තිබෙන්නේ භාවිත කරන නූල් පොට ප්‍රමාණයේ වෙනස් වීමක් මතයි. එහෙත් ඔබ එය සැලකිල්ලට ගත යුතු නැත.