ඇඳුමකට ගාංචු යෙදීම ආවට ගියාට කරන්න බැහැ

‘මැහුම් කලාවේ නිම් වළලු පුළුල් කරන චාරිකාව‘
සැප්තැම්බර් 26, 2022

 

ඇඟලුම් ගැන බොහෝ දේ කතා කළා. ඒ වගේම දැනුවත් විය යුතු තවත් කරුණු බොහොමයි. ඇඟලුමක් නිම කිරීම යනු සංකීර්ණ ක්‍රියාවලියක් කියන කාරණාව මේ වනවිට ත් ඔබට අවබෝධ වී ඇති. පෙර සතියක අප කතා කළා බොත්තම් ගැන. අද අවධානය යොමු කරන්නේ තවත් අතිශය වැදගත් උපාංගයක් වන 'ගාංචු' පිළිබඳයි. එහෙමනම් අපි බලමු එරංග රණසිංහයන් ගාංචු ගැන මොනවද කියන්නේ කියලා.

 

'ඇඳුමකට ගාංචු (Buckle) අල්ලනවා කරුණු දෙකක් නිසා. ප්‍රධානවම අවශ්‍යතාව තමයි ඇඳුමකට පටි යොදන අවස්ථාවලදී ඇඳුම ශරීරයට නිසි පරිදි සකසා ගැනීම සඳහා (Adjust) ගාංචු යෙදීම, අනෙක අලංකාරය සඳහා.

මේ සඳහා භාවිත වෙන ගාංචු වර්ග තුනක් තිබෙනවා. ඒවා තමයි,

ලෝහ ගාංචු (Metal Buckle)

ප්ලාස්ටික් බකල් (Plastic Buckle)

දැවමය ගාංචු (Wooden Buckle)

මේවා අතරින් ලෝහ ගාංචු ආයෙමත් කොටස් දෙකකට බෙදෙනවා.

පිත්තල ගාංචු (Braze Buckle)

යකඩ ගාංචු (Iron Buckle)

වෙනත් ලෝහවලින් කළ ගාංචු වර්ගත් තියෙනවා නේද?

'ඒ වර්ණ ගැන්වූ ගාංචු. එහෙම ඒවා කීපයක්ම තියෙනවා'

 

මොනවාද ඒ...?

 

'ඒවා යකඩවලින් නිර්මාණය කරලා තමයි අවශ්‍ය වර්ණය යොදන්නේ. එහෙම වර්ණාලේපිත ගාංචු අතර,

තඹ පැහැති ගාංචු (Copper colour Buckle)

රිදී පැහැති ගාංචු (Silver colour Buckle)

පෞරාණික රිදී පැහැති ගාංචු (Antique silver colour Buckle)

පෞරාණික තඹ පැහැති ගාංචු (Antique bronze colour Buckle)

ආදී වශයෙන් යොදා ගැනෙනවා. ඇඳුමට ගැළපෙන විදිහට නිර්මාණ ශිල්පීන් මේවා යොදා ගන්නවා. විශේෂයෙන්ම ළමයින්ගේ සහ කාන්තාවන්ගේ ඇඳුම් අලංකාර කිරීම සඳහා තමයි මේවා භාවිත කරනු ලබන්නේ. එමඟින් වැඩි ආකර්ෂණීය බවක් එකතු කරන්නට පුළුවන්.

 

මොන වගේ තැන්වලටද යොදන්නේ...

'විශේෂයෙන්ම ඉණ පටි සහ උර පටි සඳහා තමයි. උදාහරණයක් දෙන්නම් උර පටිවලට පිනපෝ ගවුම්වලට. අනිවාර්යයෙන්ම මේ විදිහට ගාංචු යොදා ගන්නවා. බ්ලව්ස්වල සාක්කුවලට නම් ගාංචු යොදන්නේ අලංකාරය සඳහා විතරයි. ගැබිනි මවුවරුන්ගේ ගවුම්වලටත් ගාංචු යොදන අවස්ථා තිබෙනවා.

 

ඇඳුමකට ගාංචු යෙදීම ආවාට ගියාට කරන්නට බැහැ. විශේෂයෙන්ම බර සහ ප්‍රමාණය ගැන විශේෂ අවධානයක් යොමු කළ යුතුමයි. බරෙන් වැඩි වුණොත් එතැනින් ඇඳුම එල්ලා වැටෙන ස්වභාවයක් මතු වෙනවා. ඒ වගේම එය අඳින කෙනාට අනවශ්‍ය බරක් වෙනවා.

 

ලෝහ ගාංචු යෙදීමේදී අවධානය යොමු කළ යුතු සුවිශේෂී කරුණක් තියෙනවා . ඒ තමයි මලකඩ සහ ඒවා නොවීම. ඒ නිසා නිසි ප්‍රමිතියෙන් යුතු ලෝහ ගාංචු තෝරා ගැනීම වැදගත්.'

 

ආධුනිකයෙක් කොහොමද එය දැන ගන්නේ?

 

'සරල උපක්‍රමයක් තියෙනවා. කාන්දම් කෑල්ලක් (Magnet) ගවුමකට ඇල්ලුවාම, ඇදී එනවා නම් ස්ථීර වශයෙන්ම ඒක මලකඩ කන එකක්. මේ අවබෝධය නැත්නම් සේදුම්වාර දෙක තුනකදී ඇඳුමේ මලකඩ තැවරීම වළක්වන්නට බැහැ. ප්ලාස්ටික් සහ ලී ගාංචුවලින් මේ ගැටලුව ඇතිවෙන්නේ නැහැ.'

 

උපදෙස් - ප්‍රවීණ මෝස්තර නිර්මාණ ශිල්පී
එරංග රණසිංහ
ඔයාමා ෆැෂන්ස් සහ ග්‍රැෆික්ස්