රිබන් මල් ගෙනෙන අලංකාරය

ඔක්තෝබර් 24, 2022

 

එම්බ්‍රොයිඩරි කලාවන් අතර සුන්දරම නිර්මාණ බිහි කරන රිබන් එම්බ්‍රොයිඩරි ලාංකේය කතුන් වඩාත් ප්‍රිය කරන නිර්මාණ කලාවකි. මෙහි දැක්වෙන මේ ලස්සන මල් මසා ඇත්තේ ද එම කලාවෙනි. කුෂන් කවර, ඇඳ ඇතිරිලි, මේස රෙදි මෙන්ම බිත්ති සැරසිලි හා ඇඳුම් හැඩ කිරීමටත් මේ මෝස්තර භාවිත කළ හැකියි.

 

ලිනන් රෙදි හෝ වෙනත් සුදුසු රෙදි වර්ගයක්

විවිධ වර්ණ බේබි රිබන්, අඟල් භාගය පළල රිබන්,

මිලිමීටර් 2 පළල රිබන්

විවිධ වර්ණ කපු කැරැලි නූල්

ඉදිකටු

රාමු

කතුර

ඩ්‍රෙස් මේකිං කාබන් කොළ, පැන්සල් හා අනෙකුත්

අවශ්‍ය දේවල්

 

මේ සඳහා රෙදි කොටස මත තමන් කැමැති ලෙසට මෝස්තරය ඇඳ ගන්න. මෙහි ඇති නිර්මාණ තුනේම ලොකු මල් සියල්ලේ පෙති ලූප් මැහුම්වලින් මසා ඇත.

කහ හා දම් වර්ණ මිශ්‍ර පැන්සි මල් පෙති ලූප් මැස්මෙන් මසා ඒවායේ මැදට කෙළින් මැහුම් කිහිපයක් මසා ගන්න. මල මැදට ප්‍රංශ ගැටයක් මසා ගන්න. නැත්නම් පබළුවක් අල්ලා ගන්න. අනෙක් නිර්මාණවල ඇති රෝස පාට ලොකු මල් ද එලෙස පෙති මසා මල් මැදට කහ පැහැයෙන් ප්‍රංශ ගැට කිහිපයක් දමන්න. නිර්මාණ තුනේම ඇති නිල් පැහැති මල් පෙති බේබි රිබන් ගෙන කෙළින් මැස්මෙන් පෙති පහ බැගින් මසා මල් මැදට ප්‍රංශ ගැටය බැගින් යොදන්න.

නටු, නැටි මැසිමෙන් කැරැලි නූල් භාවිතයෙන් මසා ගන්න. කොළ රිබන් මැස්මෙන් මසන්න. නිර්මාණ තුනේම හිඩැස් විවිධ වර්ණ නූල් හෝ මිලිමීටර් 2 පළල රිබන් භාවිත කර ප්‍රංශ ගැට මැස්මෙන් මසා ගන්න. එක් නිර්මාණයක වටේ සම්පූර්ණයෙන් සුදු පාට ප්‍රංශ ගැට මසා අලංකාර කර තිබේ. පැන්සි මල් සහිත නිර්මාණයේ සුදු පබළුවලින් මල් සේ මසා මල මැදට තැඹිලි පැහැයෙන් එක් පබළුව බැගින් අල්ලා ගන්න. මේ නිර්මාණ ඔබට කැමැති ලෙස වෙනස් කරමින් මසාගත හැකියි.