ක්විලින් ක්‍රමයට ආසිරි පැතුමක්

ආදරණීයන්ට තිළිණ කරන්න උපන්දින සුබපැතුමක් සරලව නිර්මාණය කරගනිමු
නොවැම්බර් 28, 2022

 

ඔබේ ආදරණී‍ෙයන්ගේ උපන් දිනයට වෙනස්ම ආකාරයකින් සුබ පතන්නට හැකිනම් කොතරම් අගනේ ද? සහකරුට, සහකාරියට, මවට, පියාට, දුවට, පුතාට මේ ඕනෑම කෙනකුගේ විශේෂ අවස්ථාවන්ට සුබ පැතිය හැකි සුබ පැතුමක් සකසන ආකාරයයි අද අප ඔබට කියලා දෙන්නේ. ක්විලින් හූප් ආර්ට් ක්‍රමයට සකසන මේ සුබ පැතුම ඔබත් සකසා ආදරණීයයන්ට තිළිණ කරන්න.

 

අවශ්‍ය ද්‍රව්‍ය

එම්බ්‍රොයිඩරි රාමුවක්

ලිනන් රෙදි කොටසක්

වර්ණ 1/8 A 4 පටි

ක්විලින් ටූල් එක

කතුරක්

ගම්

ඩයිකට්ස්

භාග පබළු

අඟල් 1 සුදු රිබන්

යාර 1/2

 

ළා කහ සහ තද කහ මල නිර්මාණය කිරීම

ළා කහ වර්ණ 1/8 පටි දෙකක් එකට අලවා ක්විලින් ටූල් එක ආධාරයෙන් ටූල් කර කඳුළු බිංදු හැඩය (Tear drop) සාදාගන්න. පසුව එහි වටේට තද කහ වර්ණ පටියකින් අවුට් ලයින් අලවාගන්න. එක මල් පෙත්තක් සඳහා මෙවැනි කඳුළු බිංදු හැඩ තුනක් අවශ්‍ය වේ. පසුව මෙම කඳුළු බිංදු වටේට ද තද කහ වර්ණයෙන් අවුට්ලයින් යවා ගන්න. පින්තූරයේ මැද තිබෙන ලොකු කහ මල සඳහා මෙවැනි පෙති පහක් සකසා ග්ලූගන් එක ආධාරයෙන් ත්‍රිමාණ හැඩය සිටින සේ මල සකසා අලවා ගන්න.

 

මෙහි දෙපැත්තේ තිබෙන පොඩි මල් දෙක සඳහා 1/2 එක් පටියකින් කඳුළු බිංදු හැඩ සකසා ඉහත ආකාරයටම මල් නිර්මාණය කරගන්න. මල්වල මැදට භාග පබළු අලවාගන්න.

 

රෝස වර්ණ මල නිර්මාණය කිරීම

රෝස වර්ණ 1/8 පටි 5 ගෙන එක දිගට අලවා (වැලක් ආකාරයට) ටූල් එක ආධාරයෙන් තදට සිටින සේ ටූල් කර ටයිට් රෝලක් (tight roll) සාදා කඳුළු බිංදු හැඩය සකසා ගන්න. එක මලක් සඳහා මෙවැනි පෙති පහක් අවශ්‍ය වේ. පෙති පහ සකසා ගත් පසු ත්‍රිමාණ හැඩය සිටින සේ ගන් එක ආධාරයෙන් අලවා ගන්න. මෙහි මැදට ද පබළු අලවාගන්න.

 

දම් පැහැ මල නිර්මාණය කිරීම

ළා දම් වර්ණ 1/8 පටි දෙකක් එකට අලවා ටූල් එක ආධාරයෙන් ලූස් කොයිල් (Loose coil) එකක් සකසා ගන්න. ලූස් කොයිල් එකේ මැදට පැන්සලක් හෝ වෙන එවැනි ආධාරකයක් තබා දෙකට නමා කොන් දෙක අලවා ගන්න. මෙහි වටේට ද තද දම් වර්ණයෙන් අවුට් ලයින් අලවාගන්න. ඉහත ආකාරයටම මල් ටික සකසා ගන්න.

 

පොහොට්ටුව නිර්මාණය කිරීම

පොහොට්ටුව සඳහා ළා තැඹිලි වර්ණයෙන් 1/8 පටි 4ක් එක දිගට අලවා වයිට් රෝලක් සාදා එය කෝන් එකක් ආකාරයට ඇද ගැනීමක් කර එහි ඇතුළත ගම් ආලේප කර වියළා ගන්න. පොහොට්ටුවේ යට කොටස සඳහා ද කොළ වර්ණයෙන් 1/8 පටි හතරකින් ටයිට් රෝලක් සාදා එය කප් එකක් ආකාරයට ඇඳ ගැනීම කර එහි ද ඇතුළු පැත්තේ ගම් ආලේප කර වියළා එම කොටස් දෙක එකට අලවා ගන්න.

 

සියල්ල සකසා ගත් පසු රාමුවට රෙදි කොටස සම්බන්ධ කර රාමුව වටේට පබළු අලවා ගන්න. පින්තූරයේ පෙන්වා දී ඇති පරිදි මල් ටික සහ කොළ අතු ග්ලූගන් එක ආධාරයෙන් අලවාගන්න. අවසානයේ රිබන් බෝ එකද සකසා රූපයේ පෙනෙන පරිදි අලවා, එල්ලීම සඳහා නූලක් සම්බන්ධ කරගන්න. තමන් කැමැති පරිදි අවශ්‍ය නම් රූපයේ පෙනෙන පරිදි ඔහුගේ හෝ ඇයගේ ඡායාරූපයක් ද එකතු කර ගත හැකියි.

 

 

උපදෙස්

මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බාහිර උපදේශිකා ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනී චූලනි ජයසිංහ

 

ඡායාරූප - ශාන් රූපස්සර