නිවෙස හැඩ කරන නත්තල් සීනු

දෙසැම්බර් 12, 2022

 

අසිරිමත් නත්තල උදා වෙන්නට ඇත්තේ තව දින කිහිපයක් පමණයි. ඒ වෙනුවෙන් ඔබ දැනටමත් නිවෙස සූදානම් කරනවා ඇති. ඉතිං නත්තල් සැරසිලිවලින් නිවෙස හැඩ කරන ඔබට අඩු වියදමකින් හදාගන්න පහසු පුංචි බිත්ති සැරසිල්ලක් ගැනයි අද කියන්න යන්නේ. බිත්ති සැරසිල්ලකට වගේම දොර සැරසිල්ලක් විදිහටත් මේ නත්තල් සීනුව යොදා ගන්න පුළුවන්.

 

අවශ්‍ය ද්‍රව්‍ය

කාඩ්බෝඩ් කොටසක්

ගෝණි රෙදි

රතු හා කොළ වර්ණ

ෆෝම් ෂීට්

නත්තල සඳහා

ගැළපෙන රිබන්

ග්ලූ ගන් එක

කතුරක්

 

නිර්මාණය කර ගන්නා ආකාරය

පළමුව පහත දී ඇති දිග පළල අනුව සීනුවේ හැඩය බෝඩ් එකෙන් කපාගන්න. එයම ගෝණි රෙද්දෙන් ද කපා ගන්න. ගෝණි රෙද්දෙන් කපා ගැනීමේදී වටෙන්ම අඟලක පමණ ප්‍රමාණයක් තබා කපාගන්න. පසුව වැඩිපුර තබන ලද කොටසෙහි කට් මාර්ක් යොදමින් බෝඩ් එකෙන් කපාගත් සීනු හැඩය මතින් තබා අලවා ගන්න. නැවතත් කට් මාර්ක් දැමූ කොටස් සියල්ල කණපිට පැත්තට තබා හොඳින් අලවා ගන්න. සීනුවෙහි උඩට එල්ලා ගැනීම සඳහා රිබන් හෝ කෝඩ් නූල් කොටසක් ද අලවා ගන්න.

පසුව පහත දී ඇති පොයින්සෙටියා මලේ පතරොම් සකස් කර ෆෝම් ෂීට් මත ඇඳ කපාගන්න. කොළ ටික ද කපාගන්න. පසුව මල් පෙති එක උඩ එක තබා අලවා එහි මැදට පබළුවක් ද අලවා මල් ටික සකසා ගන්න. පින්තූරයේ පෙන්වා ඇති ආකාරයට ග්ලූ ගන් එක අාධාරයෙන් වෙළෙඳ පොළෙන් ගත් දේවල් ද එකතු කර ගනිමින් මල් ටික අලවා ගන්න.

වර්ණ දෙකෙන් රිබන්වලින් බෝ ටික සාදා එක උඩ එක තබා එයට ද වෙළෙඳ පොළෙන් ගත් දේවල් උපයෝගි කර රූපයේ පෙනෙන පරිදි අලවාගන්න. සීනුවේ හරි මැදින් රිබන් කොටසක් අලවාගන්න. අවසානයේ කණපිට පැත්තට ද තවත් සීනු හැඩයක් කපා අලවා නිමකර ගන්න.

 

උපදෙස් - මහරගම ප්‍රාදේශීය ලේකම්

කාර්යාලයේ බාහිර උපදේශිකා

ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනී

චූලනී ජයසිංහ

 

-------------------------------

නත්තලට සුබ පතන්න  කදිම කාඩ් එකක්

 

ළඟ ළඟම එන නත්තල ප්‍රියයන් හා එක්වන්නටත්, සුබ පැතුම් බෙදාගන්නටත් අවස්ථාව ලැබෙන සුන්දර කාලයක්. ඉතින් මේ වෙනකොට පවුලේ සැමටත්, නෑදෑ හිත මිතුරන්ටත් නත්තල් කාඩ් ලියා ඉවරත් ඇති.

 

ඒත් වෙළෙඳ පොළෙන් කාඩ් මිල දී ගන්නවට වඩා තම දෑතින්ම නත්තල් කාඩ් එකක් හදාගන්න හැකි නම් කොතරම් අගනේද? ගෙදර පොඩ්ඩනුත් එක්ක එකතු වෙලා හදාගන්න පහසු කදිම කාඩ් එකක් ගැනයි අද කියන්නේ.

 

අවශ්‍ය ද්‍රව්‍ය

සුදු 120gsm බෝඩ්

වර්ණ A4 කොළ

ගම්

කතුරක්

නත්තල සඳහා ගැළපෙන

අඟලක රිබන් කොටස්

 

නිර්මාණය

කරගන්නා ආකාරය

පහත දී ඇති ප්‍රමාණයන්ගෙන් අවශ්‍ය බෝඩ් කොටස් ටික සකසාගන්න. පසුව 28cm x 14cm බෝඩ් කොටසෙහි කඩ ඉරි මඟින් පෙන්වා ඇති තැන්වලින් නමා නැමි සකසා ගන්න. පසුව පින්තුරවල පෙන්වා ඇති ආකාරයට රතු වර්ණ A4 කොළයකින් කොටස් කපා අවුට් ලයින් සිටින සේ අලවා ගන්න. අලවා ගැනීමේදී ඇතුළු පැත්ත සම්පූර්ණ කොටස් තුනම අලවාගන්න. පිට පැත්තේ ඉදිරියට නැමෙන කොටස් දෙකට පමණක් අලවාගන්න.

18cm x 3cm පටි කොටස් දෙකෙහිද කඩඉරි මඟින් පෙන්වා ඇති තැන්වලින් නමා නැමි සකසාගන්න. පසුව පෙනෙන පරිදි 7cm x 7cm බෝඩ් කොටස් දෙකද එම පටි මත තබා අලවාගන්න. එහිද රතු A4 කොටස් කපා අවුට් ලයින් සිටින සේ අලවාගන්න. පසුව එම පටි කොටස් දෙක පින්තූරයේ පෙන්වා ඇති ආකාරයට පළමු 3cm කොටසේ ගම් ආලේප කර වම් පැත්තට ද, අනෙක් පැත්තේ නැමි කොටස් දෙකෙන් අන්තිම 3cm කොටසෙහි ගම් ආලේප කර පෙට්ටියක් ආකාරයට සිටින සේ අලවා ගන්න. අනෙක් පටිය ද ඇලවීමේදී දකුණු පැත්තට 3cm කොටස තබා අලවා ගන්න. එලෙස විරුද්ධ වන පරිදි පටි කොටස් දෙක අලවා ගත යුතුයි. ඇතුල් පැත්තට කැමැති හැඩතල කපා අලවා අලංකාර කරගන්න. ඉදිරිපස සඳහා පෙන්වා ඇති ආකාරයට රිබන් බෝ එකක් සකසා අලවාගන්න. නත්තල සඳහා ගැලපෙන දේවල් යොදා ගෙන වැඩි අලංකාරයක් ගෙන දෙන පරිදි මේ සුබ පැතුම ලස්සන කර ගත හැකියි.

 

 

ඡායා - ශාන් රූපස්සර

 

 

ඡායා - ශාන් රූපස්සර