බිත්තිය හැඩ කරන අපූරු සැරසිලි

මැයි 15, 2023

කාන්තා ඔබේ දෑත් නිර්මාණශීලි ය. ඒ නිර්මාණශීලිත්වය ඔප් නංවන්නට අදත් අපි ඔබට අත්කම් නිර්මාණයක් ගෙන එනවා. ඉතින් ඔබේ නිවෙසට එන අමුත්තන්ගේ දෑස් පිනවීමට ඔබ අතින්ම කළ නිර්මාණයක් නිවෙසෙහි එල්ලා තබන්නට හැකි නම් එය කෙතරම් අගනේ ද?

කඩදාසිවලින් සකසන මේ නිර්මාණය නිවෙසේ ඉදිරිපස දොරටුව අලංකාර කරන්න වගේම නිවෙස ඇතුළත සරසන්නත් කදිමයි. අඩු වියදමකින් සකසාගත හැකි නිසා තවත් වාසියි.

වර්ණ ඒ4 කොළ

විෂ්කම්භය අඟල් 10 යුත් කාඩ්බෝඩ් රවුමක්

රෝස වර්ණ පෙපර් කෝඩ් හෝ වූල්

සුදු වර්ණ භාග පබළු

ගම්

කතුරක්

නිල් වර්ණ පබළු

රෝස වර්ණ දිග පබළු

නූල් සහ ඉඳිකටුවක්

 

පළමුව කාඩ්බෝඩ් රවුම ගෙන එහි මැද හිස්වන ආකාරයට අඟල් 2ක ප්‍රමාණයක් සිටින සේ විෂ්කම්භය අඟල් 8ක ප්‍රමාණයක් කපා ඉවත් කරන්න. පසුව පින්තූරයේ පෙනෙන ආකාරයට එහි වටේට පේපර් කෝඩ්ස් හෝ වූල්වලින් ඔතා ගැනීමක් කරගන්න. නැවතත් කළු වර්ණයෙන් අඟල් 9ක් පමණ දිගට ඒ4 කොටස් කපා රෝල් කර අලවා පින්තූරයේ පෙන්වා දී ඇති ආකාරයට අලවා ගන්න. අලවාගත් පසු එහි ද භාග පබළු හෝ ඊට ගැළපෙන වෙනත් අමුද්‍රව්‍යක් භාවිත කර අලංකාර කරගන්න.

පහත දී ඇති පතරොම භාවිත කර අවශ්‍ය වර්ණවලින් එක මලකට පෙති හතර බැගින් අවශ්‍ය පෙති කපා ගන්න. පසුව සෑම මල් පෙත්තකම හරි මැදින් තරමක නැමුමක් සිටින සේ දෙකට නමා ටූල් කර ගන්න. ඉන්පසුව පෙති හතරක් ගෙන එක උඩ තබා අලවා මල් ටික සකස් කර එහි මැදට සුදු භාග පබළු ද අලවා ගන්න.

නැවතත් පින්තූරයේ පෙනෙන ආකාරයට රවුමෙහි එක පැත්තකට මල් හා කොළ අලවා ගන්න. රවුමෙහි අනිත් පැත්තට ද කැමැති පරිදි පබළු අලවා ගන්න. රවුමෙහි යට කොටසට පබළු හා මල් සම්බන්ධ කර ගැනීම සඳහා ඉදිකටුවට නූල් දෙපට සිටිනසේ දමා වර්ණ දෙකෙන් පබළු සම්බන්ධ කර රවුමට සම්බන්ධ කරන්න. එහි පහතට මල් ද සම්බන්ධ කර අවසන් කර ගන්න.

 

 

උපදෙස් -

මහරගම ප්‍රාදේශීය ලේකම්

කාර්යාලයේ බාහිර උපදේශිකා

ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනී

චූලනී ජයසිංහ