තාරුණ්‍යයේ සැරිසරන්න ක්‍රොස් ඕවර් ගවුමක්

සැප්තැම්බර් 18, 2023

තරුණ යුවතියන්ගේ සිත් විලාසිතාවට ඇදී යන්නේ හරිම වේගයෙන්. ඒ අතර අන් අයට නැති තමන්ටම ආවේණික වූ විලාසිතාවක් කරන්නටත් ඇය පෙලඹේ.

තරුණී හා ළෙන්ගතු ඔබට ඔබේම දෑතින් ඇඳුම් මසා ගැනීමට දැන් හැකියාව පවතී.

මේ ක්‍රොස් ඕවර් ගවුම් විලාසිතාවකි.

බලන්නකො මෙය කෙතරම් පහසුවෙන් ඔබට මසා ගත හැකි දැයි කියා.

 

මේ සඳහා අවශ්‍ය මිමි

 

* උරහිස අඟල් 17

* කරවට අඟල් 15

* ඉණ දක්වා උස අඟල් 16

* පපුව වට අඟල් 38

* ඉණ වට අඟල් 34

* සාය උස අඟල් 28

* ඉණ වට අඟල් 36

* උකුළ වට අඟල් 40

* උකුළ දක්වා අඟල් 7

 

 

බ්ලවුසය හා සාය කොටස වෙන වෙනම සාදා ඇත.

සාය ඉදිරිපස පළුව සඳහා ක්‍රොස් ඕවර් හැඩයක් භාවිතකර ඇත.

 

පතරොම සාදා ගැනීම සඳහා නැම්මට තබා ගන්න. ඉහළින් හරහට රේඛාවක් අඳින්න. එය උරහිස රේඛාවයි. උරහිස මිම්ම දෙකට බෙදා එම පිළිතුරට මැහුම්වාසි අඟල් 1/2ක් එකතුකර උරහිස රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AB වේ. B සිට අඟල් 1 3/4ක් පහත්කර Aට යා කරන්න. එය AC වේ.

 

කරවට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AD වේ. එම පිළිතුරෙන් අඟල් 1/2ක් අඩුකර ඉතිරි ප්‍රමාණය AC රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AE වේ. DE යාකර මූලික කර අඳින්න.

 

අවශ්‍ය කර ගැඹුර පහත්කර ඉදිරිපස විවරය කපා ගන්න.

 

E සිට පහතට ඉණ දක්වා උස පහත්කර හරහට රේඛා අඳින්න.

 

අත්කට රේඛාවට උස සෙවීම සඳහා උරහිස් ප්‍රමාණය දෙකෙන් බෙදා එම පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AF වේ. හරහට රේඛාවක් අඳින්න. එය අත්කට රේඛාව යි.

අත්කට රේඛාවට දිග ලකුණු කිරීම සඳහා පපුව වට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුරට මැහුම්වාසි හා බුරුල සඳහා එකතුකර අත්කට රේඛාවේ හරහට ලකුණු කරන්න. එය FG වේ.

ඉණ වට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුරට බුරුල සඳහා හා මැහුම්වාසි එකතුකර ඉණ රේඛාවේ හරහට ලකුණු කරන්න. එය HI වේ.

 

GI යාකර අංශය අඳින්න.

අත්කට වක්‍රය ඇඳීම සඳහා C සිට අත්කට රේඛාවට කෙළින් ඉරක් ඇඳ එම රේඛාවේ මැද ලක්ෂ්‍යය ලකුණු කරන්න. උරහිස මිම්මෙන් අඟල් 1/2ක් අඩුකර ඉතිරි ප්‍රමාණය නැම්මේ සිට මැද ලක්ෂ්‍යය දෙසට ලකුණු කරන්න.

C සිට එම ලක්ෂ්‍යය කැපීයන සේ රේඛාවක් ඇඳ අත්කට වක්‍රය අඳින්න.

 

පසුපස

 

පසුපස සඳහා ද නැම්මට තබාගන්න. ඉදිරිපස පතරොම ගාණට තබා ගන්න. ඉදිරිපස උරහිසට සමාන්තරව අඟල් 1ක් උසින් වැඩි කරන්න. පසුපස කර ගැඹුර අඟල් 1 1/2 ක් පහත්කර කපා ගන්න.

 

 

කොළරය

 

කොළරය සඳහා කරවට ප්‍රමාණය මැනගන්න. එම ප්‍රමාණයට අඟල් 6ක් එකතුකර දිග ද උස ද අඟල් 6ක් ලෙස රෙදි කපාගන්න.

එය පහතට දෙකට නවා නැවත හරහට නවන්න. කරවට ප්‍රමාණය දෙකට බෙදා එම පිළිතුරට මැහුම් වාසි අඟල් 1/4 ක් එකතුකර හරහට ලකුණු කරන්න. එය AB වේ. B සිට පහතට කෙළින් ඉරක් අඳින්න. එය BC වේ. B සිට පිටතට අඟල් 1 1/2ක් ලකුණුකර C ට යා කරන්න.

 

සාය

සාය සඳහා නැම්මට තබාගන්න. ඉහළින් හරහට රේඛාවක් අඳින්න. එය ඉණ රේඛාවයි. ඉණ රේඛාවේ සිට පහතට උකුළ දක්වා උස හා සම්පූර්ණ උස පහත්කර හරහට රේඛා අඳින්න.

 

ඉණ වට ප්‍රමාණය හතරෙන් බෙදා මැහුම්වාසි සමඟ ඉණ රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AB වේ.

 

උකුළ වට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුරට මැහුම්වාසි එකතුකර උකුළ රේඛාවේ හරහට ලකුණු කරන්න. එය CD වේ.

D සිට වාටිය රේඛාවට කෙළින් ඉරක් අඳින්න. එතැන් සිට පිටතට අඟල් 2ක් 3ක් ලකුණුකර හැඩ කරගන්න.

ඉදිරිපස පතරොම තබා පසුපස පතරොම කපා ගන්න.

(ඉදිරිපස ප්‍රමාණයටම)

 

පසුව ඉදිරිපස පතරොම දිග හරින්න. එය එක් අංශයකට හැඩකර කපන්න. එය තබා රෙදිවලින් කොටස් 2ක් කපා ගන්න.

 

 

මෙලෙසින් මසාගන්න.

 

* කරට බයස්පටියක් අල්ලා ගන්න.

* උරහිස මසන්න.

* කොළරය අල්ලා ගන්න.

* අත පයිපින් හෝ පේශින් අල්ලා ගන්න.

* සාය ඉදිරිපස ක්‍රොස් ඕවර් හැඩයට තබා අල්ලා ගන්න.

* පසුපස මසන්න.

* අංශය මසන්න.

 

 

ප්‍රවීණ ඇඳුම් නිර්මාණ ශිල්පිනී

දිලුෂි දසනායක

 

 

අචිනි චන්ද්‍රසේකර