අඩු වියදමකින් අපූරු පැන්සල් රඳවනයක්

ඔක්තෝබර් 2, 2023

පුතාගෙ දුවගෙ පෑන්, පැන්සල්, කතුරු, අඩි රූල් ගේ පුරා තැනින් තැන. අවශ්‍ය වෙලාවට හොයා ගන්නත් නෑ. අම්මලා, තාත්තලා වගේම දුවලා පුතාලත් බොහෝ වෙලාවට කාර්යබහුලයි. පාසල් යනවා එනවා. සෙල්ලම් කරනවා, ගමන් යනවා. ඒ නිසා නිවෙස පිළිවෙළක් නෑ.

ඉහත කළමනා ටික එක තැනක තිබෙනවා නම් කොයි තරම් පහසුද? නිවෙසේදී ම පෙන් හෝල්ඩර් එකක්, නැත්නම් පෑන් රඳවනයක් හදා ගන්න විදිය ගැනයි ‍මේ කියන්න යන්නේ. හරියටම කිව්වොත් පෑන් පැන්සල් විතරක් නෙමෙයි, සුබ පැතුම්පත්, කුඩා පොත්, ගම් බෝතල්, ස්ටෙප්ලර්, බුක් මාර්ක්ස්, සෙලෝටේප්, යතුරු වගේ ඕනෑම දෙයක් මෙහි බහාලන්න පුළුවන්.

 

ටින් එකක්

ගෝනි නූල්

ෆැබ්‍රිරික් පේන්ට්

පින්සල්

කතුරක්

හොඳින් ඇලවෙන ගම් වර්ගයක්

පළමුව ටින් එක හොඳින් පිරිසුදු කරගෙන වියළා ගන්න. ඉන්පසු හොඳින් ඇලවෙන ගම් වර්ගයක් භාවිත කර ටින් එකේ පිටතින් එක තැනක සිට ගෝනි නූල් වටේටම අලවා ගනිමින් ටින් එක ආවරණය කරගන්න. මෙහිදී වැඩි අලංකාරයක් ගෙන ඒමට හිඩැස් නොතිබෙන සේ ගෝනි නූල් අලවා ගන්න. ටික වෙලාවක් වේලෙන්න තබන්න. වේලුණු පසු පින්සලක් ආධාරයෙන් අවශ්‍ය වර්ණ ගන්වා ගන්න. තනි වර්ණයක් හෝ වර්ණ කිහිපයක් භාවිත කළ හැකිය.

මෙහිදී කුඩා ලණු, වූල් වුවද ටින් එක ආවරණය කිරීමට යොදා ගත හැකිය. තවත් විසිතුරු කරගැනීමට අවශ්‍ය නම් කුඩා මල් සහ බීඩ්ස් වර්ග අලවා ගන්න.

ඒ වගේම මේ පැන්සල් රඳවනය වටා වූල් ගෙත්තමක් කරන්නත් පුළුවන්. ඒ විදිහට ඔබ කැමැති පරිදි හැඩකරගත් පැන්සල් රඳවනය දුවගේ... පුතාගේ පොත් මේසය මත තබන්න.

උපදෙස් -

බිස්මි රංගනා කුරුවිට ආරච්චි

අත්කම් නිර්මාණ ශිල්පිනී,