පුංචි සාදයකට පුංචි ගවුම් විලාසිතාවක්

ඔක්තෝබර් 30, 2023

උත්සව සමය අත ළඟ. ඉතින් මේ වනවිටත් ඔබට පුංචි පුංචි සාද කීපයකට ඇරැයුම් ලැබී ඇති. මේ සඳහා සහභාගීවන්නට හැකි ඇඳුම් විලාසිතාවක් ගැන සිතමින් ළතවෙනවා නේද? මෙන්න ඒ සඳහා කදිම විසඳුමක්. ඔබට කැමති රෙදි වර්ගයකින් කැමති වර්ණයකින් මේ ගවුම මසා ගත හැකියි.


මේ සඳහා අවශ්‍ය මිමි:- 

* උරහිස අඟල් 16 1/2
* කරවට අඟල් 15
* පපුව දක්වා උස අඟල් 10
* පපුව අඟල් 34
* සාය උස අඟල් 27
* අත උස අඟල් 15
* කැප් උස අඟල් 4
* අත අග අඟල් 7
* පතරොමේ අත්කට අඟල් 9

මෙලෙසින් රෙදි කපා මසාගන්න:-
මෙම ඇඳුම් නිර්මාණය සඳහා කට්ලෝන් රේන්ද භාවිතකර ඇත. ඒ සඳහා එම ස්ථානවලට ඔබත් රේන්ද අල්ලා ගන්න. පතරොම සාදාගැනීම සඳහා නැම්මට තබා ගන්න. ඉහළින් හරහට රේඛාවක් අඳින්න. එය උරහිස රේඛාවයි. උරහිස මිම්ම දෙකට බෙදා එම පිළිතුරට මැහුම් වාසි අඟල් 1/2 ක් එකතුකර උරහිස රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AB වේ. B සිට අඟල් 1 3/4ක් පහත්කර A ලක්ෂ්‍යයට යා කරන්න. එය AC වේ.

කරවට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AD වේ. එම පිළිතුරෙන් අඟල් 1/2ක් අඩුකර ඉතිරි ප්‍රමාණය AC රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AE වේ. DE යා කර මූලික කර අඳින්න.

E සිට පහතට පපුව දක්වා උස පහත්කර හරහට රේඛා අඳින්න.

අත්කට රේඛාවට උස සෙවීම සඳහා පපුව වට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AF වේ. හරහට රේඛාවක් අඳින්න. එය අත්කට රේඛාවයි.
අත්කට රේඛාවට දිග ලකුණු කිරීම සඳහා පපුව වට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුරට මැහුම් වාසි හා බුරුල සඳහා එකතුකර අත්කට රේඛාවේ හරහට ලකුණු කරන්න. එය FG වේ. G සිට පපුව රේඛාවට ඉරක් අඳින්න. 


අත්කට වක්‍රය ඇඳීම සඳහා C සිට අත්කට රේඛාවට කෙළින් ඉරක් ඇඳ එම රේඛාවේ මැද ලක්ෂ්‍යය ලකුණු කරන්න. උරහිස මිම්මෙන් අඟල් 1/2ක් අඩුකර ඉතිරි ප්‍රමාණය නැම්මේ සිට මැද ලක්ෂ්‍යය දෙසට ලකුණු කරන්න. C සිට එම ලක්ෂ්‍යය කැපීයන සේ රේඛාවක් ඇඳ අත්කට වක්‍රය අදින්න. මෙහි අත්කට ගැඹුර වැඩිපුර කපා ඇති නිසා පහතට ලකුණුකර අඟල් 1ත් 2ත් අතර ප්‍රමාණයක් අත්කට අඳින්න.

පසුපස

පසුපස සඳහා නැම්මට තබා ගන්න. ඉදිරිපස පතරොම නැම්ම මතින් තබාගන්න. පසුපස කර ගැඹුර අඟල් 2ක් පමණ පහත්කර කපාගන්න.

ඉණෙන් පහත කොටස සඳහා අවශ්‍ය උසට මැහුම් වාසි අඟල් 1 1/2ක් එකතුකර උස ද ඉණවට ප්‍රමාණය හා රැලි සඳහා එකතුකර දිගද ගන්න. එය දෙකට නවා වාටිය හැඩකර කපාගන්න. මෙම කොටස සඳහාද දෙපස අත්කට වක්‍රය කපා ඇති නිසා අඟල් 1ත් 2ත් අතර ප්‍රමාණයක් ලකුණුකර රූපසටහනේ පරිදි කපාගන්න.

අත

අත සඳහා රෙදි කොටස නැම්මට තබා ගන්න. ඉහළින් රේඛාවක් අඳින්න. නැම්මේ උඩ සිට පහතට කැප් උස පහත් කරන්න. එය AB වේ. හරහට රේඛාව අඳින්න. A සිට පහතට උස පහත් කරන්න. එය AC වේ. හරහට රේඛාව අඳින්න. එය වාටිය නැම්ම රේඛාවයි. වාටිය රේඛාව සඳහා මැහුම් වාසි තබා වාටිය රේඛාව අඳින්න. පතරොමේ අත්කට ප්‍රමාණය A සිට හැඩේට ලකුණු කරන්න. එය AD වේ. එම රේඛාවේ මැද ලක්ෂ්‍යය ලකුණුකර අත්කට වක්‍රය අදින්න. අතඅග වට ප්‍රමාණය දෙකෙන් බෙදා එම පිළිතුරට මැහුම් වාසි හා රැලි සඳහා එකතුකර වාටිය නැම්ම රේඛාවේ හරහට ලකුණු කරන්න. එය BE වේ. ED යාකර
A සිට ඉහළට රැලි සඳහා වැඩි කරන්න.

D හා E සිට රැලි සඳහා වැඩිකර රූපසටහනේ පරිදි අත අඳින්න. පසුව කට්ලෝන් රේන්දය ඇල්ලීම සඳහා වෙන්කර එම ස්ථානවල රේන්දය අල්ලා ගන්න.

මෙලෙසින් මසාගන්න

* අවශ්‍ය තැන්වලට රේන්දය තබා
මසාගන්න.
* අත ගැදර් කරන්න.
* උරහිස මසන්න.
* අත අල්ලා ගන්න.
* සාය කොටස රැලිකර මසන්න.
* අංශය මසා වාටිය මසන්න.