මේ ලස්සන ගවුම ඔබේ හැඩටයි

පෙබරවාරි 19, 2024

ඇසුරු සැණින් කාලය වෙනස් වෙද්දී හැමදේම අලුත්වන බව ඔබ දන්නවා. ඇඳුම් පැලඳුම් ඒ අතර විශේෂයි. අද වෙළෙඳපොළේ කොතරම් නම් ඇඳුම් විලාසිතා තියෙනවාද? එහෙත් මේ කාලයේ විදිහට එවැනි සිතැඟි ඉටුකර ගන්නට ඔබේ මුදල් පසුම්බිය හරස් වේවි. ඔබ මැහුමට දක්ෂ කෙනෙක් නම් මෙන්න ඔබට අගනා අවස්ථාවක්. මේ ලස්සනම ලස්සන ගවුම් විලාසිතාව ඔබේම කරගන්නට හැකියි. මෙවැනි ගවුම් මෝස්තර මසා ස්වයං රැකියාවක් ආරම්භ කරන්නත් පුළුවන්.

 

අවශ්‍ය මිමි

* උරහිස = අඟල් 14 1/2

* කර වට = අඟල් 14

* ඉණ දක්වා උස = අඟල් 16

* පපුව වට = අඟල් 35

*ඉණ වට = අඟල් 29

*කර ගැඹුර = අඟල් 7

 

පතරොම සාදා ගැනීම සඳහා බලවාටියට තබා ගන්න. බලවාටියේ සිට අඟල් එකක් තබා නැම්ම රේඛාව අඳින්න. ඉහළින් හරහට රේඛාවක් අඳින්න. එය උරහිස ‍ෙර්ඛාවයි. උරහිස මිම්ම දෙකට බෙදා එම පිළිතුරට මැහුම් වාසි අඟල් 1/2ක් එකතුකර උරහිස රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AB වේ. B සිට අඟල් 1 3/4ක් පහත්කර A ලක්ෂ්‍යයට යා කරන්න. එය AC වේ.

කර වට ප්‍රමාණය හතරෙන් ‍ෙබදා එම පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AD වේ. එම පිළිතුරෙන් අඟල් 1/2ක් අඩුකර ඉතිරි ප්‍රමාණය AC රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AE වේ. DE යාකර මූලික කර අඳින්න. අවශ්‍ය කර ගැඹුර පහත්කර ඇඳගන්න.

E සිට පහතට ඉණ දක්වා උස පහත්කර හරහට රේඛා අඳින්න.

අත්කට රේඛාවට උස සෙවීම සඳහා පපුව වට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AF වේ. හරහට රේඛාවක් අඳින්න. එය අත්කට රේඛාව යි.

අත්කට රේඛාවට දිග ලකුණු කිරීම සඳහා පපුව වට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුරට බුරල සඳහා හා මැහුම් වාසිය එකතුකර අත්කට රේඛාවේ හරහට ලකුණු කරන්න. එය FG වේ.

ඉණ වට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුරට බුරුල හා මැහුම් වාසි එකතුකර ඉණ රේඛාවේ හරහට ලකුණු කරන්න. එය HI වේ. GI යාකර අංශය අඳින්න. මැහුම් වාසි තබාගන්න.

අත් කට වක්‍රය ඇඳීම සඳහා C සිට අත් කට රේඛාවට කෙළින් ඉරක් ඇඳ එම රේඛාවේ මැද ලක්ෂ්‍යය ලකුණු කරන්න. උරහිස මිම්මෙන් අඟල් 1/2ක් අඩුකර ඉතිරි ප්‍රමාණය නැම්මේ සිට මැද ලක්ෂ්‍යය දෙසට ලකුණු කරන්න. C සිට එම ලක්ෂ්‍යය කැපීයන සේ රේඛාවක් ඇඳ අත් කට වක්‍රය අඳින්න.

 

පසුපස

ඉදිරිපස විවරය සහිත නිසා පසුපස පතරොම නැම්මට තබාගන්න. ඉදිරිපස පතරොම නැම්මේ සිට අඟල් 1/2 ක් අඩුවෙන් තබා ගන්න. ඉදිරිපස උරහිසට සමාන්තරව අඟල් 1ක් උසින් වැඩි කරන්න. පසුපස කර ගැඹුර අඟල් 1 1/2ක් පහත්කර කර අඳින්න.

 

සාය

ඉණවට අඟල් 32

උකුළ වට අඟල් 40

උකුළ දක්වා උස අඟල් 7

උස අඟල් 24

 

සාය සඳහා නැම්මට තබාගන්න. ඉහළින් හරහට රේඛාවක් අඳින්න. එය ඉණ රේඛාව යි. දැන් මෙහි සිට අඟල් තුනක් හතරක් පමණ ලකුණුකර රේඛාවක් අඳින්න. ඉණ රේඛාවේ සිට පහතට උකුළ දක්වා උස හා සම්පූර්ණ උස පහත්කර හරහට රේඛා අඳින්න.

ඉණ වට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුරට මැහුම් වාසි අඟල් 1/2ක් එකතුකර ඉණ රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AB වේ.

උකුළ වට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුරට මැහුම් වාසි අඟල් 1/2ක් එකතුකර උකුළ රේඛාවේ හරහට ලකුණු කරන්න. එය CD වේ.

CD මිම්මෙන් අඟල් 1 ක් පමණ අඩුකර වාටිය රේඛාවේ ලකුණු කරන්න. එය EF වේ.

පසුපස පතරොම ඉදිරිපස දෙවැනි රේඛාවේ සිට ඉතිරි ප්‍රමාණයට සමානව කපා ගන්න. ඉණට හා වාටියට මැහුම්වාසි තබා කපාගන්න.

 

අත

අත සඳහා රෙදි කොටස නැම්මට තබා ගන්න. ඉහළින් රේඛාවක් අඳින්න. නැම්මේ උඩ සිට පහතට කැප් උස පහත් කරන්න. එය AB වේ. හරහට රේඛාව අඳින්න. A සිට පහතට උස පහත් කරන්න. එය AC වේ. හරහට රේඛාව අඳින්න. එය වාටිය නැම්ම රේඛාවයි. වාටිය රේඛාව සඳහා මැහුම් වාසි තබා වාටිය රේඛාව අඳින්න. පතරොමේ අත් කට ප්‍රමාණය A සිට හැඩේට ලකුණු කරන්න. එය AD වේ. එම රේඛාවේ මැද ලක්ෂ්‍යය ලකුණුකර අත් කට වක්‍රය අඳින්න. අත අග වට ප්‍රමාණය දෙකෙන් බෙදා එම පිළිතුරට මැහුම් වාසි හා රැලි සඳහා එකතුකර වාටිය නැම්ම රේඛාවේ හරහට ලකුණු කරන්න. එය BE වේ. ED යා කරන්න.

 

මැසීම

ඉදිරිපසට සිපරයක් අල්ලා ගන්න.

උරහිස මසන්න.

අත අල්ලා ගන්න.

කර පේෂින් කරන්න.

සාය ඉදිරිපස කොටස සඳහා බොක්ස් ප්ලීට් එකක් සාදාගන්න.

සාය ඉණට අල්ලා අංශය මසන්න.

 

උපදෙස් -

මැහුම් නිර්මාණ ශිල්පිනී

දිලූෂි දසනායක