ජීවිතය සොඳුරු කරන කඳුරු ගෙඩියක බලය

මාර්තු 11, 2024

වියළි මල් කලාවෙන් ජීවිතය පාට කරගන්න තරුණීත් එක්ක අත්වැල් බැඳගත් ආදරණීය ඔබට මෙහෙම කියන්න හිතුණා. “ඔයාගේ සතුට රඳාපවතින්නේ ඔයා මතමයි...” සැබැවින්ම සති ගණනාවක් තිස්සේ මල් කලාව ආශ්‍රිත නිර්මාණ කරගෙන ඔබ මීට පෙර හිටියාට වඩා සතුටින් යැයි අප සිතනවා. ‘ඉතින් මේ ලෝකේ අපව සතුටින් තියන්න පුළුවන් හොඳම කෙනා තමන්මයි. අපිට පුළුවන් අපේ සතුට තීරණය වෙන විදියට වැඩ කරන්න. හරියට දැන් ඔයා මේ වියළි මල් කලාව ඉගෙන ගන්නවා වගේ. ඔයා වැඩිපුරම ඔයා ගැන නම් හිතන්නෙ එතැන ආත්මාර්ථයට වඩා ආත්ම ආදරය වැඩියි.

තව කෙනකුගේ වචනයක්, ක්‍රියාවක්, සිතුවිල්ලක් මත ඔයාගේ සතුට රඳාපවතිනවා නම් එතැන ඔබගේ ආත්ම විශ්වාසය ගිලිහී ගිහින්. කවදාවත්ම තව කෙනකු මත ඔයාගෙ සතුට තීරණය කරන්න එපා. ඇති වුණා හෝ නැති වුණා, හිමිවුණා හෝ අහිමි වුණා. ජීවිතයේ මොන තත්ත්වයක් උදාවුණත් කවදාවත් ඔයා ඔයාව අත්හරින්න එපා. බලන්න මල් පිපුණාම ලස්සනයි කියලා හිතපු ඔයාට මල් පරවී වියළී යන විට ඊටත් වඩා ලස්සනයි කියලා අද හිතෙනවා නේද?

මේ දේවලුත් එක්ක ඔයා ජීවිතේ දිනන්න ඕනෙ. කාටවත් පේන්න නෙමෙයි. තමන් තමන්ට ඒ යුතුකම ඉටු කරන්න ඕිනෙ නිසා. හැමදාමත් කියනවා වගේ ඔයාව දිනවන්න පුළුවන් එකම කෙනා ඔයයි. ඔයාව සතුටින් තියන්න පුළුවන් හොඳම කෙනත් ඔයයි.

මේ වියළි මලින් ජීවිතය ජයගන්න යන ගමනත් එවැනිමයි...

මීට පෙර පාඩමකදී ලී මල් බඳුනක් නිර්මාණය කරගන්නා අන්දම අප ඔබට කියලා දුන්නා මතක ඇති. ඉතින් අද මේ කියන්නට සූදානම එවැනි ලී මල් බඳුනක නවතම නිර්මාණ කිිහිපයක් ගැනයි.

අපේ පරිසරය හොඳින් නිරීක්ෂණය කිරීමේදී මේ නිර්මාණවලට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය පහසුවෙන්ම සොයා ගත හැකියි. මේ නිර්මාණත් එක්ක ඔබ මේ වනවිටත් පරිසරවේදියෙක් වී ඇති බව නම් නොඅනුමානයි. සොබා දහම දෙස සියුම්ව බැලුවහොත්, පරිස්සමට කටයුතු කළහොත් ඒ හැම දෙයකම ලස්සන විඳිය හැකියි. ඒ හැම දෙයක්ම සල්ලි උල්පතක් කරගන්නත් පුළුවන්. මුලින්ම බඩ ඉරිඟු කොළ යොදාගෙන මල් කිහිපයක් සාදා ගන්නා අන්දම අපි බලමු. වියළා ගත් බඩඉරිඟු කොළයෙන් පෙති හැඩතල කිහිපයක් කපා ගන්න. ඒවාට ගම් ටේප් පටි අලවාගෙන කම්බියක ආධාරයෙන් මලක හැඩය ලැබෙන සේ රඳවාගන්න.

කඳුරු ගෙඩියක්, කොට්ටංගෙඩි, ෆයිනස් සහ මාන වර්ග ආශ්‍රිතව නිර්මාණය ඉදිරියට කරගෙන යන්න.

ඒ සඳහා තෝරාගත් ලී කෝටුවකට ග්ලූගන් ආධාරයෙන් කඳුරු ගෙඩිය අලවා ගන්න. ඔබ ගත් ලීයෙහි වර්ණයට විරුද්ධ වර්ණයකින් කඳුරු ගෙඩිය වර්ණ ගන්වා ගන්න. මෙහිදී ද වර්ණ සංකලනය හරිම වැදගත්. මල්වලට ළඟින් යන වර්ණ ආසන්න වර්ණ ලෙසත් එකිනෙකට පරස්පර වර්ණ (රතු - සුදු , කහ - කළු වැනි වර්ණ) විරුද්ධ වර්ණ ලෙසත් එකම පැහැයේ ආසන්න වර්ණ ප්‍රභේද සම වර්ණ ලෙසත් සැලකේ. මේ පිළිබඳ අවධානය යොමුකර ගනිමින් නිර්මාණයේ ඉදිරි කොටස් එකිනෙකට සම්බන්ධ කරගන්න. ඔබට මෙහි ලී මල් බඳුන් තුනක් දක්නට ලැබෙනවා. පැති සැරසිල්ල, අන් ඊවන් (නියමිත හැඩයක් නැති) සැරසිල්ල සහ සාමාන්‍ය මල් බඳුනක සැරසිල්ලක් ලෙස ඒවා වෙන්කර ගත හැකියි.

ඔබට මේ නිර්මාණ කල්තබා ගැනීමට වෙළෙඳපොළෙහි ඇති ස්ප්‍රේ ගෙන භාවිත කළ හැකියි. එහිදී ක්ලියර් වානිෂ් වඩාත් සුදුසුයි.

මැට් ගතිය (දිලිසෙන ගතිය නොපෙනෙන) වැඩිපුර තබා ගැනීමෙන් නිර්මාණයට මනා පෙනුමක් ලැබේවි.

උපදෙස්:- 
ධනංජය ෆ්ලෝරා අධිපති ප්‍රවීණ මල් සැකසුම් ශිල්පී 
සමන් ජයලත්