බිත්තිය හැඩකරන රිබන් එම්බ්‍රොයිඩරි මල් පොකුර

අප්‍රේල් 22, 2024

 

ඔබ අතින්ම නිර්මාණය කරපු රිබන් එම්බ්‍රොයිඩරි සැරසිල්ලකින් නිවෙසේ විසිත්ත කාමරය හැඩකර ගන්න හැකිනම් කෙතරම් අගනේද.. ඔබේ නිර්මාණශීලී හැකියාව නිවෙසට එන අමුත්තනට ප්‍රදර්ශනය කරන්නටත් එය කදිම අවස්ථාවක් වේවි. මේ විදිහට එය නිර්මාණය කරලා විසිත්ත කාමරයට වෙනසක් එක්කර ගනිමු.

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

ලිනන් හෝ අමු රෙදි

ක්‍රීම් හා පීච් වර්ණ අඟලක පළල සැටින් රිබන්

කොළ වර්ණ කීපයක අඟල් භාගෙ සැටින් රිබන්

කොළ වර්ණ අඟල් භාගේ ඕගන්දි රිබන්

දුඹුරු, කොළ, කහ වර්ණ බේබි රිබන්

සැටින් රෙදිවලින් කපාගත් කොළ හෝ වෙළෙඳපොළෙන් මිල දී ගත් කෘත්‍රීම කොළ

කොළ පාට කැරැලි නූල්

ටැපැස්ට්‍රි ඉඳිකටු හා අතේ මහන ඉඳිකටුවක්

රෙදි පින්තාරු තීන්ත සහ පින්සල්

එම්බ්‍රොයිඩරි රාමුවක්

පින්සලක්

කතුරක්

 

නිර්මාණයකර ගන්නා ආකාරය

 

පළමුව රෙදි කොටසේ පසුබිම රෙදි පින්තාරු තීන්ත භාවිතකර වර්ණ ගන්වා වියළා ගන්න. ඉන්පසු නිර්මාණයේ දළ සටහනක් රෙදි කොටස මතට පිටපත්කර ගන්න. රෙදි කොටස රාමුවට දමා තද කරගෙන මැසීම අරඹන්න.

ක්‍රීම් පාට රෝස මලේ වටේ ඇති පෙතිවල යටම පෙති කෙළින් මැස්මෙන් බුරුලට මසා ගන්න. ඊළඟට ඇති පෙති ලූප් මැස්මෙන් හා රිබන් එක තරමක් අඹරවා කෙළින් මැස්මෙන් මසා ගන්න. මලේ මැද කහ පාට බේබි රිබන් ගෙන ප්‍රංශ ගැට මසා ගන්න. පීච් වර්ණ මලක් මෙලෙස මසා බාගෙට පිපීගෙන එන මල රිබන් මැස්මෙන් ද මනිපත්‍ර කෙළින් මැස්මෙන්ද මසා ගන්න. පොහොට්ටුවල පෙති රිබන් මැස්මෙන් මසා පීච් වර්ණ පොහොට්ටුවේ ඉදිරියෙන් කොළ පාට කැරැලි නූලෙන් කෙළින් මැහුම් දමාගන්න. නටු දුඹුරු සහ කොළ වර්ණ බේබි රිබන් ගෙන ඇඹරුණු කෙළින් මැස්මෙන් මසා ගන්න. කොළ අඟල් භාගේ සැටින් රිබන්වලින් සහ ඕගන්දි රිබන්වලින් මැස්මෙන් මසා සැටින් රෙදිවලින් කපාගත් කොළ හෝ කෘත්‍රිම කොළ තබා මසා මල් පොකුර නිම කර ගන්න.

 

 

අත්කම් නිර්මාණ ශිල්පිනී

බිස්මි රංගනා කුරුවිට ආරච්චි

හෝමාගම කලාප

අධ්‍යාපන කාර්යාලය