මුණිඳු පුදට වූල් මලක්

මැයි 13, 2024

 

පුංචිම පුංචි නූල් පොටකින් මෙතරම් විස්මිත නිර්මාණ කළ හැකිද යන්නත් පුදුමයක් නේද? මේ අලංකාර මල් බඳුනකි. ඉවසීමෙන් හා නිර්මාණශීලිව කළ යුතු මේ ගෙත්තම වූල් කලාවේ අනගි තිළිණියකි. සියුමැලි කාන්තා දෑතකට මෙබඳු කලාවකින් විස්කම්සහගත බොහෝ දේ කළ හැකියි. එය ප්‍රයෝජනයට ගනිමින් මේ වෙසක් මහේ බුදුකුටිය සරසන්න මල් බඳුනක් ගොතන්න දැන් ඔබටත් පුළුවනි.

 

අවශ්‍ය ද්‍රව්‍ය

රතු, කහ, ළා තැඹිලි පාට වූල්

පැඩින්

කම්බි

මිලි මීටර් 3.5 ගෙතුම් කටුවක්

 

නිර්මාණය කරන ආකාරය

පළමුව මැජික් රින්ග් එකක් සාදාගෙන එයට දෙපොට පිරවුම් හයක් ගොතා රවුම නිර්මාණයකර ගන්න. එහි දෙවැනි වටේ නිර්මාණය කිරීමට රවුමේ සෑම සිදුරකටම දෙපොට පිරවුම් දෙක බැගින් ගොතා රවුම අවසන් කරන්න. තුන්වැනි වටය නිර්මාණය කිරීමට පළමුව දම්වැල් තුනක් ගොතා වටය ආරම්භ කරන්න. පසුව ඊළඟ සිදුරට දෙපොට පිරවුම් දෙකක් ගොතන්න. පිළිවෙළින් දෙපොට පිරවුම් එකයි, දෙපොට පිරවුම් දෙකයි යන රටාව අනුගමනය කරමින් තුන්වැනි වටය ගොතා ගන්න. රවුමේ හතරවැනි වටය ආරම්භ කිරීමේ දී දම්වැල් තුනක් ගොතා හමුවන ඊළඟ සිදුරට දෙපොට පිරවුමක් ගොතා ගන්න. ඊළඟ සිදුරට දෙපොට පිරවුම් දෙකක් ගොතන්න. පිළිවෙළින් දෙපොට පිරවිලි එකයි, දෙපොට පිරවිලි එකයි. දෙපොට පිරවිලි දෙකයි යන රටාව අනුගමනය කරමින් රවුම අවසන් කරන්න. පස්වැනි වටය ගෙතීමේදී දෙපොට පිරවිලි එක බැගින් පිරවිලි තුනක් ද, දෙපොට පිරවිලි දෙකක් ද යන රටාව අනුගමනය කරමින් රවුම අවසන් කරන්න. පස්වැනි වටයේ දම්වැල්වලට සමානව පේළි හතරක් ගොතා ගන්න. එවිට ඔබට මල් බඳුනේ හැඩය ලබා ගත හැකියි.

 

මල් බඳුනේ කොටසට හොඳින් පැඩින් පුරවා ගන්න. පියන කොටස ගෙන තනිපොට පිරවිල්ලකින් එකට සම්බන්ධකර ගන්න. මල් මැද කොටස නිර්මාණය කිරීමට කහ පාට නූල් භාවිතකර මැජික් රින් එකක් ගොතා, එයට තනිපොට පිරවිලි හයක් ගොතා ගන්න.

 

දෙවැනි වටේ නිර්මාණය කිරීමට රවුම් කොටසේ සෑම සිදුරකටම තනිපට පිරවුම් දෙක බැගින් ගොතාගන්න.

 

තුන්වැනි වටය සඳහා පළමු සිදුරට තනිපොට පිරවිලි එකක්ද ඊළඟ සිදුරට තනිපොට පිරවිලි දෙකක් යන රටාව අනුගමනය කරමින් රවුම ගොතාගන්න.

 

හතරවැනි වටය සඳහා පළමු සිදුරට තනිපොට පිරවිලි එකක්ද දෙවැනි සිදුරට තනිපොට පිරවිලි එකක්ද තුන්වැනි සිදුරට තනිපොට පිරවිලි දෙකක්ද යන රටාව අනුගමනය කරමින් රවුම අවසන්කර ගන්න.

 

පස්වැනි වටය සඳහා මුල් සිදුරු තුනට තනිපොට පිරවිලි එක බැගින්ද හතරවැනි සිදුරට තනිපොට පිරවිලි දෙකක්ද ගොතා ඒ රටාව අනුගමනය කරමින් රවුම අවසන්කර ගන්න.

 

හයවැනි වටේ සඳහා මුල් සිදුරු හතරට තනිපොට පිරවිලි එක බැගින්ද ඊළඟ සිදුරට තනි පොට පිරවිලි දෙකක්ද ගොතා ඒ ආකාරයට රවුම අවසන්කර ගන්න. මේ ආකාරයට රවුම් දෙකක් නිර්මාණයකර ගන්න. ඉන් එක් රවුමක් ගෙන රූපයේ ආකාරයට කම්බිය මැදින් තබා මලේ නටුව සකස්කර ගන්න. රවුම් දෙක එකට තබා තනිපොට පිරවුමකින් එකට සම්බන්ධකර ගන්න. අවශ්‍ය ප්‍රමාණයට මැදට පැඩින් පුරවාගන්න.

 

මලේ පෙති සකස්කර ගැනීමට මලේ මැද කොටස ගෙන එහි වටේ දාරයේ ඇති දම්වැල රතුපාට වූල් යොදා දම්වැල් හතරක් ගොතා ගන්න. ඡායාරූප මඟින් දැක්වෙන ආකාරයට ඊළඟ සිදුරට තුන්පොට පිරවිලි දෙකක් ගොතා ගන්න. ඉන්පසුව දම්වැල් හතරක් ගොතා, ඊළඟ සිදුරට එය සම්බන්ධකර ගන්න.

අනෙක් පැති නිර්මාණය කිරීමේදී අවසානයේ දම්වැල් හතර සම්බන්ධ කළ ස්ථානයෙන්ම නැවතත් දම්වැල් හතරක් ගොතා ගන්න. එය ඊළඟ සිදුරට සම්බන්ධවන සේ තුන්පොට පිරවිල්ලක් ගොතා ගන්න. නැවතත් එම සිදුරටම තුන්පොට පිරවිල්ලක් ගොතා ගන්න. ඉන්පසුව නැවත දම්වැල් හතරක් ගොතා ඊළඟ සිදුරට සම්බන්ධකර ගන්න. මේ ආකාරයට මලෙහි පෙති නිර්මාණයකර ගත හැකියි. අවසානයේ දී රූපයේ දැක්වෙන ආකාරයට මල මල් බඳුනට සම්බන්ධකර ගන්න.

 

 

උපදෙස් :-

අත්කම් නිර්මාණ ශිල්පිනි

තිළිණි මදුෂිකා ගුණතිලක