පොඩ්ඩන්ගේ තනිය මකන හරි ලස්සන බෝනික්කෝ

ජූලි 1, 2024

කාන්තාවක් කිව්වම ලස්සන ගැන නිතරම අවධානයක් දෙන්න ඕනෙ. කාන්තාවකට ලස්සන කියන්නෙ ආභරණයක්. ඉතින් මං ඔයාලට අද කියන්න යන්නෙ ඇඳ වටා තබා ගත හැකි ලස්සනම ලස්සන යහළුවන් කට්ටියක් ගැනයි. පාට පාට මල් වැටුණු ගවුම් පොඩිවලින් හැඩ වූ පුංචි රිබන් පටි දෙකකින් කොණ්ඩය ගැට ගැසූ රවුම් හැඩැති තොප්පියකින් හා සපත්තු පැල දි ලස්සනම ලස්සන බෝනික්කියන් පෙළකි මේ. ආදරණීය පුංචි දෝණි සනසන්න තිළිණයක් දෙන්නත් කදිමයි.

අනාගතේ ගැන සුබ සිහින මවන ඔයාලා හැමවෙලේම අනාගතේ ගැන හොඳ සැලැස්මකින් ඉස්සරහට යන්න. ලොකුම දේ තමා ඔයා ඔයා ගැන විශ්වාස කරන්න, ඔයාට මේ ජීවිතේ දිනන්න පුළුවන්.

ඉතින් ඔය සියල්ලම මතක තියාගෙන පුංචි ස්වයං රැකියාවක් පටන් ගනිමු. බෝනික්කෝ කියන්නෙ කොයි කා‍ලයකත් පොඩිත්තන්ගේ අතේ රැඳෙන ආදරණීය සෙල්ලම් බඩුවක්. මේ රෙදි බෝනික්කෙක් හදාගන්න අන්දමයි.

අවශ්‍ය ද්‍රව්‍ය

 

ෆෙල්ට් රෙදි (ඇඟට ළා පාට)

තොප්පිය සඳහා ගැළපෙන තද පාට

කොණ්ඩය (වෙළෙඳපොළෙන් ගත හැකියි)

ප්ලාස්ටික් ඇස් (වෙළෙඳපොළෙන් ගත හැකියි)

ගවුම සඳහා චීත්ත රෙදි

පැඩිං

 

නිර්මාණය කිරීම

 

මූණ ඉදිරිපස කොටසින් එකක් කපාගෙන එයට මුහුණ ඉදිරිපස යට කොටස කඩ ඉරි දමා ඇති ස්ථානයෙන් එකට මූට්ටු කරන්න. එවිට මූණ සම්පූර්ණයෙන් නිම වේ. එය වටේට කොණ්ඩය අල්ලා තොප්පිය වටේට මසා, තොප්පිය වටේ රවුම සහ උඩවැස්ම අල්ලා එය මූණට සම්බන්ධ කරන්න. ඇඟ කොටසට (F) එයට G කොටස අල්ලා ගන්න. H කොටස කඩ ඉරි දමා ඇති ස්ථානයෙන් එකට මසා එයට I කොටස අල්ලා ගන්න. J කොටස් එකට මසන්න. එය ඇඟ ඉදිරිපසට අල්ලා ගතයුතු වේ. එවිට අත්කට විවරය සහ දෙපා විවරය සෑදේ. අත ඉදිරිපස හා පිටුපස එකට අල්ලා එය අත්කට විවරයට තබා මසා ගන්න. කකුල් කොටසට සපත්තුව අල්ලා ගෙන එයට අඩිය අල්ලා මසා එය කකුල් විවරයට තබා මසා ගන්න.⁣ එවිට බෝනික්කාගේ සැකිල්ල සම්පූර්ණයෙන් නිමාවන අතර එය පිටුපස විවරයක් සාදා හොඳ පිට හරවා පැඩිං පුරවා විවරය මසා ගන්න. ඔබ කැමති ආකාරයට ඇඳුම් මසා ගතහැකි අතර රූප සටහනේ පෙනෙන පරිදි ඇස් සහ නහය, කට සකසා ගන්න.

 

උපදෙස් -

ප්‍රවීණ අත්කම්

නිර්මාණ ශිල්පිනී

සේනානි සේනාරත්න

 

රෑ රටා - අංජන හිරුෂාන්