දස්කමින් සල්ලි මවන විස්කම් මැහුම් රටා

ජූලි 22, 2024

මෙවරත් ඔබ වෙනුවෙන් එම්බ්‍රොයිඩරි කලාවට අවශ්‍ය මැහුම් ක්‍රම කිහිපයක් ගෙන ආවෙමු. එළඹෙන සතියේ මේ සඳහා අවශ්‍ය කොළ ( පත්‍ර ) මසා ගැනීමේ මැහුම් රටා හඳුනා ගනිමු .

මෙම මැස්ම මඳක් අපහසු මැස්මකි.මෙය මසා ගැනීමට ඩොට් භාවිත කළ හැකිය. රූප‍ෙය් දක්වා ඇති ආකාරයට පළමු ඩොට් එකෙන් ඉඳිකටුව ගෙන දෙවන ඩොට් එකෙන් ඉවතට ගත යුතුය. පසුව එම ඩොට් දෙක මැද්දෙන් නූලට හානියක් නොවන ලෙස නැවත ඉඳිකටුව ඉහළට ගෙන තුන්වන සහ හතරවන ඩොට් දෙක මැද්දෙන් නැවත ඉදිකටුව ඉහළට ගත යුතුය . පසුව තුන්වන ඩොට් එකෙන් ඉහළට ගෙන හතරවන ඩොට් එකෙන් එළියට ගත යුතුය. නැවත වතාවක් තුන්වන සහ හතරවන ඩොට්වලට මැද්දෙන් ඉඳිකටුව ඉහලට ගෙන පස්වන සහ හයවන ඩොට්වලට මැද්දෙන් ඉඳිකටුව එළියට ගතයුතුය. පසුව පස්වන ඩොට් එකෙන් පටන් ගෙන හයවන ඩොට් එකෙන් අවසන් කර නැවත පස් වන සහ හයවන ඩොට් වලට මැද්දෙන් ඉඳිකටුව ඉහළට ගත යුතුය. මෙයාකාරයට දිගටම මසා ගත යුතුය.

බට්න්හෝල් මැස්ම (buttonhole stitch )

 

මෙම මැස්ම බ්ලැන්කට් මැස්මට ඉතාමත්ම සමීපය. බැලූ බැල්මට බ්ලැන්කට් මැස්ම සේම දිස්‌වේ. වාටි මසා ගැනීමට යෝග්‍ය වේ. මෙහිදී මුලින්ම රේඛා දෙකක් ඇඳ ගැනීම සුදුසුයි. පසුව රූපයේ දක්වා ඇති ආකාරයට ඩොට් තබාගත යුතුය. ඉඳිකටුව පළමු ඩොට් එකෙන් මතු කරගෙන දෙවෙනි ඩොට් එකෙන් එළියට ගෙන තුන්වෙනි ඩොට් එකෙන් මතු කරගත යුතු වේ. මෙහිදී දෙවැනි ඩොට් එකෙන් එළියට ගන්නා ඉඳිකටුව සම්පූර්ණයෙන්ම එළියට නොගෙන තුන්වන ඩොට් එකෙන් මතු කරගත යුතු වේ. පසුව රූපයේ දක්වා ඇති ආකාරයට නූල පටලවා ඉඳිකටුව ඉවත් කරගත යුතුය. මෙහිදී කුඩා ගැටයක් වැටෙන අතර එය දෙවන ඩොට් එක ඇති ස්ථානයට ගත යුතුය. පසුව හතරවන ඩොට් එකෙන් සහ පස්වන ඩොට් එකෙන් ඉඳිකටුව දමා නැවත ඉහත ආකාරයටම පටලවා ගනිමින් දිගටම ඒ ආකාරයට මැසීම කළ යුතුය.

 

මෙම මැස්ම අතු වර්ග මැසීමට, නැටි මැසීමට භාවිත කරයි. මෙහිදී ද ඉඳිකටුව රෙදි කොටසින් ඉහළට ගෙන කොටසක් අල්වා ඉඳිකටුව එළියට ගත යුතුය. පසුව නැවත ඉඳිකටුව මතු කරගනු ලබනුයේ මසාගත් නූල් කොටස මැදින්ය. එවිට ඉඳිකටුව නූල් කොටස ඇතුළින් මැදින් එළියට ගත යුතුය. පසුව කොටසක් අල්ලා ඉඳිකටුව ඉවතට ගෙන නැවත එම මැස්මේ මැදින් ඉඳිකටුව ගෙන නැවත කොටසක් අල්වා මැසීම කළ යුතුය. මේ ආකාරයට දිගටම මසාගත යුතු වේ. දම්වැල් මැස්මට සමාන වේ.

 

හෙරින්බෝර්න් මැස්ම (herringbone stitch )

මෙම මැස්ම මැසීමේදී ද ඩොට් තබාගෙන මැසීම පහසුවේ. මෙයටද රේඛා දෙකක් අවශ්‍ය වේ. පළමු ඩොට් එකෙන් ඉඳිකටුව ඉහළට ගෙන දෙවැනි ඩොට් එකෙන් පහළට යවා තුන්වැනි ඩොට් එකෙන් ඉහළට ගත යුතුය. පසුව හතරවැනි ඩොට් එකෙන් එළියට යවා පස්වැනි ඩොට් එකෙන් ඉහළට ගත යුතුය. මේ ආකාරයට දිගටම මසා ගත යුතුය.