දෙපා හැඩ කරනා ෆෝම් ෂීට් මල් කුමරී

ජූලි 22, 2024

 

නිකම්ම නිකම් රබර් සෙරෙප්පු දෙකක් පැලඳගෙන යනකොට, කෙනෙක් ඔයා දිහා බලන්නෙ හරිම අමුතු විදිහට නේද? ඔව්! ඒක තමයි අද ලෝකෙ හැටි.

 

අපිත් ලෝකෙ යන ට්‍රෙන්ඩ් එකට එකතු වෙන්න ඕනෙ. අන්න එතකොට තමයි ඔයාට වටිනාකමක් ලැබෙන්නෙ. ෆෝම් ෂීට් මල් කිහිපයක් එකතු කරගෙන සෙරෙප්පු හැඩ කර ඇති අපුරුවයිමේ. අමතර පන්ති යන්න, බීච් එකේ රවුමක් යන්න, පුංචි විනෝද ගමනට‍, දෙපයට පහසු සේ සැරිසරන්න කදිමයි. ඔන්න ඉතින් පොෂ් වෙන්න කැමැති ඔයාට ට්‍රෙන්ඩ් සෙරෙප්පු දෙකක් අද අපි තිළිණ කරනවා.

 

අවශ්‍ය ද්‍රව්‍ය :

 

මිලිමීටර් 01 ඝනකමින් යුතු ෆෝම් ෂීට් (වර්ණ කිහිපයකින්)

ග්ලූගන්

පතුල අඟල් 2ක් උසැති රබර් සෙරෙප්පු ජෝඩුවක්

මිලිමීටර් 02 ඝනකමින් යුතු ෆෙල්ට් රෙදි කැබැල්ලක්

කෝඩ් නූල්

මල්ටි‍ෙබාඩ් ග්ලූ

කතුරක්

 

සාදන අයුරු :

පළමුව සෙරෙප්පු දෙකේ පටි දෙක කෝඩ් නූල්වලින් එක ළඟ සිටින සේ ළඟ ළඟ ඔතා ගන්න. ඔතන ගමන් මල්ටි‍ෙබාන්ඩ් ගම් භාවිත කරන්න.

 

දැන් මිලිමීටර් 2 ඝනකමින් යුතු ෆෙල්ට් රෙදි කැබැල්ල ගෙන සෙරෙප්පු ජෝඩුවේ ඇති සම්පූර්ණ පටියේ ප්‍රමාණය සේ දිගට කපා පළල ලෙස සෙන්ටි මීටර් 04ක් උසට කපාගන්න. දැන් මෙසේ කපාගත් ෆෙල්ට් තීරුව ග්ලූගන් ආධාරයෙන් සෙරෙප්පු ජෝඩුවෙ පටියේ නොගැළවෙන සේ හොඳින් අලවාගන්න.

 

ෆෝම් ෂීට් රෝස මල් සාදමු.

 

ෆෝම් ෂීට් එකෙන් සෙන්ටිමීටර් 5.5 ප්‍රමාණයේ රවුමක් කපාගන්න. රවුමෙහි සමාන්තරව පෙති 5ක මලක් ඇඳ කපාගන්න. මලෙහි ඇතුළතට වෙන සේ පෙති වෙන් නොවන ආකාරයට පෙති කපාගන්න.

 

මෙසේ කපාගත් පෙති පහේ මල් කොටස් තුනක් එක රෝස මලක් සෑදීම සඳහා අවශ්‍ය වේ.

 

දැන් එක මලක් ගෙන පෙති පහම එකින් එක රෝල් කරමින් රෝස මලේ මැද කොටස සාදාගන්න. ඉන්පසු අනිත් කොටස් දෙක ද මේ සාදාගත් කොටසට යටින් අලවා පෙති එක උඩ එක හරහට සිටින සේ රෝස මලක් ආකාරයට ග්ලූගන් ස්වල්පයක් භාවිත කරගනිමින් නිර්මාණාත්මකව සාදාගන්න.

 

මෙසේ රෝස මල් 40ක් (ජෝඩුවටම) පමණ කැමති වර්ණයන්ගෙන් සාදාගන්න.

 

දැන් කලින් සාදාගත් සෙරෙප්පු ජෝඩුවේ ෆෙල්ට් තීරුවට මේ රෝස මල් පිළිවෙලින් අලවාගන්න.

 

අමුත්තන්ගේ නෑදෑ හිතමිතුරන්ගේ උත්සව අවස්ථාවකට ඔයාම හදාගත්ත මේ සෙරෙප්පු ජෝඩුව පැලඳගෙන ගිහින් ලස්සනට කැපී පෙනෙන චරිතයක් වෙන්නWW දැන් ඔයාටත් පුළුවනි.

 

 

 අත්කම් නිර්මාණ ශිල්පිනී

සුලෝචනා සෙව්වන්දි