කිරිකැටි පා සරසනා පාවහනක් මෙහෙම ගොතමු

ජූලි 22, 2024

 

මේ අපූරු වූල් සපත්තු, මේස් ඔබට හොඳ වෙළෙඳපොළක් ඇති කරයි. ඒ වගේම අලුත උපන් ආදරණීය සිඟිත්තකු බලන්න යන්නත් මෙය කදිම තිළිණයක් වේවි.

අවශ්‍ය ද්‍රව්‍ය - දුඹුරු පාට වූල්, කොළ පාට වූල් සුදු පාට වූල්

මිලි මීටර් 3 ගෙතුම් කටුවක්

නිර්මාණය කිරීම - පළමුව ස්ලිප් නොට් එකක් ගොතා ගෙන දම්වැල් 16 ක් ගොතා ගන්න. අනතුරුව ගෙතුම් කටුව ළඟ සිට දම්වැල් දෙකක් අත හැර හමුවන ඊළඟ දම්වැලට දෙපොට පිරවිලි තුනක්කර ගන්න.

ඊළඟ දම්වැල් 12ට දෙපොට පිරවුම් එක බැගින් ගොතා ගන්න.

අවසාන දම්වැලට දෙපොට පිරවුම් හයක් ගොතා ගන්න.

මේ ආකාරයට දම්වැලේ එක් පැත්තක් ගොතා අවසන් කරන්න.

මීළඟට දම්වැලේ අනෙක් පස ගොතා ගැනීම ආරම්භ කරන්න. පළමු දම්වැල් 12ට දෙපොට පිරවුම් එක බැගින් ගොතා ගන්න.

අවසාන පිරවුමට දෙපොට පිරවුම් තුනක් ගොතන්න. අවසානයේ පටන් ගත්ත මුල්ම පිරවුමට ගොතා ගත් දෙපොට පිරවුම සම්බන්ධකර ගන්න. මේ ආකාරයට සපත්තුව අඩියේ පළමු වටය ගොතා අවසන්කර ගන්න.

දෙවැනි වටය ගෙතීමට පළමුව දම්වැල් දෙකක් ගොතා ගන්න. ඒ පිරවුමටම දෙපොට පිරවුම් දෙකක් ගොතා ගන්න.

ඊළඟ පිරවුමට දෙපොට පිරවිලි දෙකක් ගොතා ගන්න. ඊළඟ පිරවුමටත් දෙපොට පිරවිලි දෙකක් ගොතා ගන්න. ඊළඟ පිරවුම් නවයට දෙපොට පිරවිලි එක බැගින් ගොතා ගන්න.

ඊළඟ පිරවුම් තුනට තුන් පොට පිරවුම් තුනක් ගොතා ගන්න.

ඊළඟ පිරවුම් දෙකට තුන් පොට පිරවුම් දෙක බැගින් ගොතා ගන්න.

හමුවන අනෙක් පිරවුම් තුනට තුන්පොට පිරවුම් එක බැගින් ගොතා ගන්න. ඊළඟ පිරවුම් දෙකට තුන්පොට පිරවුම් දෙක බැගින් ගොතා ගන්න.

නැවතත් හමුවන පිරවුම් තුනට තුන් පොට පිරවුම් එක බැගින් ගොතා ගන්න.

ඊළඟ පිරවුම් නවයට දෙපොට පිරවුම් එක බැගින් ගොතා ගන්න.

හමුවන අනෙක් පිරවුම් දෙකට දෙපොට පිරවුම් දෙක බැගින් ගොතා ගන්න. වටය අවසන් කිරීමට ලිස්සා හැරීමකින් මෙම වටය සම්බන්ධකර ගන්න.

ඊළඟ වටය සඳහා දෙපොට පිරවිලි එකයි දෙපොට පිරවිලි දෙකයි යන රටාව අනුගමනය කරමින් වටය ගොතා ගන්න.

මේ ආකාරයට සපත්තුවේ අඩිය නිර්මාණයකර ගන්න.

සපත්තු අඩිය කොටසේ පිටුපස කොටස පමණක් දෙපොට පිරවිලිවලින් ගොතා ගන්න. වට තුනක් පමණ ගොතා අවසන් කරන්න. (කකුල පිටුපස කොටස ආවරණය වී තිබෙන ආකාරයට මෙය නිර්මාණයකර ගන්න.)

සපත්තුවේ ඉදිරිපස කොටස නිර්මාණයකර ගැනීමට දම්වැල් දොළහක් පමණ ගොතා එයට දෙපොට පිරවුම් පේළි දෙකක් ගොතා ගන්න. පසුව එය සපත්තු අඩියට සම්බන්ධකර ගන්න.

අනතුරුව දම්වැල් තිහක් පමණ ගොතා පටියක් නිර්මාණයකර එය සෙරෙප්පුවට සම්බන්ධකර ගන්න.

මේ ආකාරයට අලංකාර සපත්තු දෙකක් නිර්මාණයකර ගන්න.

 

 

උපදෙස් :-

අත්කම් නිර්මාණ ශිල්පිනි

තිළිණි මදුෂිකා ගුණතිලක