පුතුට දුවට සතුට ගේන බනි බෑග් ප‍ත‍ෙරාම

ජූලි 22, 2024

 

තම දූ පුතුන් පාසලට, පෙර පාසලට ඇතුළත් කිරීමේදී අලුත් සපත්තු, මේස්, පොත්පත් වගේම අලුත්ම විලාසිතාවේ බෑගයක් තිළිණ කරන්නත් මවුපියන් අමතක නොකරයි. එහෙත් වෙනදාට වඩා ජනප්‍රිය සන්නාම ඇති බෑග්, සපත්තු මිලෙන් අධිකයි. එහෙම කියලා දුවට, පුතාට අලුත් බෑග් එකක් අරන් නොදී ඉන්න, බැහැනේ. ඔන්න මැහුමට. ගෙතුමට හා අත්කම් නිර්මාණවලට උනන්දුවක් ඇති ඔබට එය කදිම අස්වැසිල්ලක් වේවි. මේ පෙර පාසල් බෑගයකි. මෙය ඔබේ නිර්මාණශීලීත්වය අනුව හැඩකර ගත හැකියි.

 

මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

කෝඩ්ඩ්‍රොයිල් රෙදි හෝ වෙනත් සොයා ගත හැකි ඝනකම් රෙදි වර්ගයක්

බෑග් ලොක්

හැඬ්ල් පටි

නොම්මර 5 සිපරයක් සහ සිපර් හෙඩ් එකක්

පැඩිං

 

නිර්මාණය කිරීම

පළමුව ටෙඩි බෙයාර් හැකි අයුරින් නිර්මාණයකර ගැනීමට උත්සාහ ගන්න. ඒ සඳහා ෆෙල්ට් රෙදි උපයෝගීකර ගන්න. මුහුණ සඳහා රවුම් දෙකක් කපාගෙන මැදට හොම්බ කොටස් සම්බන්ධකර ගන්න. ඇස් හා නාසය වෙළෙඳපොළෙන් මිලදී ගත හැකියි. මැදට පැඩිං ස්වල්පයක් පුරවා ගන්න. ඉලිප්සාකාර කොටස කඳ කොටස වේ. වටේ මසා ඇතුළට පැඩිං පුරවන්න.

ඉදිරිපස පළුව ගෙන ටෙඩි බෙයාර් රූප සටහනේ ආකාරයට සම්බන්ධ කරන්න. පිටුපස පළුවට හැඬල් පටි 2 සම්බන්ධකර ගන්න. ඡායාරූප දෙස බැලීමෙන් වටහාගත හැකියි. (ඉදිරිපස හා පිටුපස පළු ලයිනින් කරන්න.)

නොම්බර 5 සිපරය ගෙන එයට බෑග් බෝඩරය තබා මසන්න. බෑග් බෝඩරය ලයිනින් තබා වටේ මසා ගන්න. පිටුපස පළුවට බෑග් බෝඩරය තබා මසන්න. දැන් ඉදිරිපස පළුව ද එකතු කරන්න. මසා අවසන් වූ බෑගය හොඳ පිට හරවා ගන්න.

ටෙඩි බෙයාර් කොටස් එම්බ්‍රොයිඩරි කිරීමට නොහැකි නම් ෆැබ්රික් පේන්ට්වලින් වර්ණ ගන්වා ගන්න.

 

 

ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනී

ඉරේෂා අබේකෝන්