මල හදන්න ෆොගෙට් මී නොට්

අගෝස්තු 12, 2024

ඔන්න දැන් ඔයාලාට හෑන්ඩ් එම්බ්‍රොයිඩරි කලාව උපයෝගී කරගෙන මලක් ගෙත්තම් කිරීමට හැකියාව උදාවෙලා තියෙනවා. ඇත්තටම පියවරෙන් පියවර ආ ගමනේ සතුටු විය හැකි තැනක ඔබ ඉන්නවා. එහෙම නම් අදත් මල් කිහිපයක් නිර්මාණය කිරීමට අප හා එකතු වන්න.

ලැවෙන්ඩර් (Lavender)

මෙයද ඉතා පහසුවෙන් මසා ගත හැකි මලකි. මෙහිදී ද බ්ලොක් එකක් පාවිච්චි කළ යුතු වේ. මල් සඳහා රේඛා මැස්මක් දැමිය යුතුය. එනම් ඇඳ ඇති රේඛා උඩ තනි මැස්මකින් මසාගත යුතුය. නටුව මැසීම සඳහා කොළපාට වර්ණයද මල් සඳහා දම්පාට වර්ණයද භාවිත කළ යුතුය.

 

ත්‍රිස්ල් (Thistle)

මෙම මල මැසීමේදී අපගේ අතේ මැද ඇඟිලි තුන වටා නූල් එතීම කළ යුතුය. මේ සඳහා දම් පාට වඩාත් සුදුසුයි. මෙහිදී නූල් පොටවල් ප්‍රමාණය වැඩිවන විට මෙම මලෙහි ලස්සනද වැඩි වේ. පසුව එසේ ඔතාගත් නූල් පරිස්සමට ඇඟිලිවලින් ගලවා එළියට ගත යුතුය. පසුව එක් කොනකින් අල්ලා එය රෙද්දට තබා කොළපාට නූල් භාවිත කරමින් නටුව කොටසට සම්බන්ධයෙන්වන කොටස හරස් මැස්මකින් මසා ගත යුතුය. (රූපයේ දක්වා ඇති ආකාරයට) මලේ ඉහළින් අනවශ්‍ය කොටස් කපා ඉවත් කරගත යුතු වේ.

ෆොගෙට් මී නොට් (Forget me not )

මෙම මල මැසීම සඳහා ලක්ෂ්‍යයක් ලකුණු කොට එම ලක්ෂ්‍යයේ සිට සමාන කොටස් පහකට රේඛා ඇඳ ගත යුතුය. (රූපයේ දක්වා ඇති පරිදි) මලේ මැද සඳහා ප්‍රංශ ගැට භාවිත කළ යුතුය. පළමුව රේඛා පහ තනි මැස්මෙන් මසාගත යුතුය. පසුව එක් එක් රේඛාව මැදිවන ලෙස ලේසිඩේසි මැස්මෙන් මැසිය යුතුය.

 

ග්‍රේප් හයාසින්ත් (Grape Hyacinth)

මෙම මල මැසීමේදී ද බ්ලොක් එකක් භාවිත කළ යුතුය. මෙහිදී නටුව සඳහා කච්චි කිරීම භාවිත කළ හැකි අතර පත්‍ර අවශ්‍ය ඕනෑම ආකාරයකට මසාගත හැකිය. මල පොහොට්ටුවක හැඩයක් ගනියි. මල මැසීමේදී පළමුවෙන්ම මල වටා ප්‍රංශ ගැටය මසාගත යුතුය. පසුව මලේ මැද පිරවිය යුතුය. ඒ සඳහාද භාවිත කරනුයේ ප්‍රංශ ගැටය වේ. මෙයද ඉතා පහසුවෙන් මසාගත හැකි මලක්වන අතර දම්පාට භාවිත කළ හැකියි.

 

උපදෙස් -

ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනි

ඊ.ඒ. සඳමාලි නවෝදිකා