මග් එක ලස්සන කරන බනී කවර්

අගෝස්තු 12, 2024

 

අාදරයට ආදරණීය තිළිණයක් දෙන්න වගේම තිළිණයක් ලබන්නත් කොයි කවුරුත් කැමැතියි. මේ මග් කවර් එක එවැන්නකි. උදේ සවස තේ පානයේ දී ඔබව සිහිපත් කෙරෙන අපූරු සිහිවටනයකි. සොඳුරු සැමරුම් සඳහා මෙවැනි මග් කවර් එකක් කදිමයි. එසේම මෙවැනි මග් කවර් එකකින් තේ කෝපපය කැඩී බිඳී පලුදු වී යන අවස්ථා අවම කෙරේ. ඉතින් එය ඔබට ආර්ථික වාසියක් ද වනු ඇත.

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

මිලිමීටර් 3 වූල් කටුවක්

ළා රෝස පාට වූල්

තද රෝස වූල්

කොළ පාට වූල්

ඉඳිකටුවක්

පළමුව මැජික් රින්ග් එකක් සාදා දම්වැල් විසි පහක් ගොතා ගන්න.

( මෙම ප්‍රමාණය අවශ්‍ය ආකාරයට වෙනස්කර ගත හැකිය. ඔබ කවරය නිර්මාණය කිරීමට භාවිත කරන මග් එකේ ප්‍රමාණය අනුව දම්වැල් ප්‍රමාණය තීරණයකර ගන්න.)

 

දෙවනුව ගොතා ගත් දම්වැල්වලට තුන්පොට පිරවිලි විසිපහක් ගොතා ගන්න. තුන්වැනි පේළියත් තුන්පොට පිරවිලිවලින් ගොතා ගන්න.

 

මේ ආකාරයට පේළි දොළහක් ගොතා අවසන්කර ගන්න. එවිට ඔබට මග් එකේ ප්‍රමාණයට සමාන ආවරණයක් දැක ගත හැකි වෙයි. ඉන්පසුව නැවතත් දම්වැල් පහළොවක් ගොතා ගන්න.

 

මේ ආකාරයට දම්වැල් හතරක් වෙන වෙනම ගොතා ගන්න. මෙය භාවිත කරන්නේ මග් එකට වූල් කවර් එක දෙපසින් සම්බන්ධ කිරීම සඳහාය.

 

ගොතා ගත් එම දම්වැල් හතර වූල් ගෙතුමේ කෙළවර හතරට සම්බන්ධකර ගන්න.

 

මීළඟට අලංකාර වූල් මලක් ගොතා ගමු.

 

පළමු පියවර ලෙස දම්වැල් තිහක් ගොතා ගන්න.

 

මුල් දම්වැල් පහ සඳහා දෙපොට පිරවුම් පහක් ගොතා ගන්න. ඊළඟ දම්වැල් විසිපහ සඳහා තුන්පොට පිරවුම් ගොතා ගන්න. පසුව මෙම ගෙතුම් කොටස අතින් රවුම්කර රූපයේ ආකාරයට මලක් ලෙස සකසා ගන්න. ඉඳිකටුවක් භාවිතකර ළා රෝස පැහැති ගෙතුම් කොටසට එය සම්බන්ධකර ගන්න.

 

රෝස මලට කොළයක් නිර්මාණය කිරීම සඳහා පළමුව දම්වැල් හතක් ගොතා ගන්න.

 

ඉන්පසුව ගොතා අවසන් කළ දම්වැලටම තනිපොට පිරවුමක් ගොතා ගන්න. ඊළඟ දම්වැලටත් තනිපොට පිරවුමක් ගොතා ගන්න.

 

තුන්වැනි දම්වැලට සහ හතරවැනි දම්වැලට දෙපොට පිරවුමක් ගොතා ගන්න.

 

පස්වැනි, හයවැනි සහ හත්වැනි දම්වැල්වලට තුන්පොට පිරවුම් ගොතා ගන්න.

 

මේ ආකාරයට ගොතා ගත් දම්වැලේ එක් පැත්තක් කොළය හැඩයට නිර්මාණය කිරීමට අපට හැකිය.

 

දැන් නැවතත් කොළයේ අනෙක් පැත්ත නිර්මාණය කිරීම සඳහා තුන්පොට පිරවුම ගොතා අවසන් කළ ස්ථානයේ සිට අනෙක් දම්වැලට තුන්පොට පිරවුමක් ගොතා ගන්න. නැවත ඊළඟ දම්වැල් දෙකට තුන්පොට පිරවුම් ගොතා ගන්න.

 

ඊළඟ දම්වැල් දෙකට දෙපොට පිරවුම් ගොතා ගන්න.

 

අවසාන දම්වැල් දෙකට තනිපොට පිරවුම් ගොතා ගන්න.

 

මේ ආකාරයට නිර්මාණය කරගත් කොළය මග් කවර් එකට සම්බන්ධකර ගන්න.

 

දැන් ඔබටත් මග් එකට අලංකාර කවර් එකක් නිර්මාණය කරගත හැකිය.