පොඩ්ඩන්ගේ කාමරේට පොලිමර් කුරුලු පැංචෙක්

අගෝස්තු 12, 2024

වර්තමානයේ පොලිමර් ක්ලේයිවලින් කරන නිර්මාණ බොහොමයි. ඒ අතර ආලින්දය සරසන්න, කෑම කාමරයේ හැඩට වගේම පුංචි පුතුගේ, දියණියගේ කාමරය සරසන්නත් එවැනි නිර්මාණ කදිමයි. වැඩි වෙහෙසක් නොවී කළහැකි පුංචි පුංචි නිර්මාණ එකතුවකින් මානසික සුවය ද ලැබේ. එසේම පුංචි බබාලාට මනස සංවර්ධනය වඩන අත්කම් නිර්මාණ වැඩ හුරුවක් ලෙසින් ද කළ හැකියි.

 

අවශ්‍ය ද්‍රව්‍ය :

 

එයාර් ඩ්‍රයි පොලිමර් ක්ලෙයි (වර්ණ ලෙස - තද කොළ, ළා කොළ, කහ, රතු, නිල්, තැඹිලි, රෝස, සුදු, කළු)

ගෝණි නූල්

ඝනකමින් යුතු ක්‍රාෆ්ට් පේපර්

ග්ලූගන්

ටූත් පික් එකක්

පැන්සලක්

පේපර් කටර් එකක්

කුයිලින් වාර්නිෂ්

කුඩා පින්සලක්

 

සාදන අයුරු :

සෙන්ටිමීටර් 54ක් උසින් හා  පළල සෙන්ටිමීටර් 11.5ක ප්‍රමාණයෙන් යුතුව ක්‍රාෆ්ට් පේපර් මඟින් තීරු කපාගන්න. දැන් එම තීරු ගෙන පැන්සල ආධාරයෙන් සෙන්ටිමීටරයක් පමණ ප්‍රමාණයේ මහතට දිගට රෝල්කර පටියක් සාදාගන්න. මෙසේ සාදාගත් පටි තුනක් උපයෝගී කරගෙන රූපයේ පරිදි තුන්පොට ගොතන්න.  ගොතාගත් පටිය සෙන්ටිමීටර් 46කින් යුතුව ගෙන අරය සෙන්ටිමීටර් 14කින් යුතු රවුමක් සාදා ග්ලූගන් මඟින් අලවාගන්න.

 

දැන් ළා කොළ පාට පොලිමර් ක්ලේයි ගෙන සෙන්ටිමීටර් භාගයක ඝනකමින් යුතුව රෝල්කර පටියක් සේ සාදා අප සාදාගත් ක්‍රාෆ්ට් පේපර් රවුම වටා ගසක වැලක් සේ ඔතාගන්න.

 

මල් පෙති ද පතරොම් පරිදි පොලිමර් ක්ලේයි ආධාරයෙන් කපාගන්න. මේ මල් පෙත්තක් මිලිමීටර 5ක ඝනකමින් යුතුව සාදාගන්න. එවැනි පෙති 5ක් එක මලක් සෑදීමට අවශ්‍ය වේ. මලේ මැද කොටසට කහ පාට පොලිමර් ක්ලේයි කුඩා බෝලයක් සාදා තියන්න. ටූත් පික් එක ආධාරයෙන් මලේ පෙත්ත හැඩකර ගන්න.

එසේම කොළ වර්ණයන්ගෙන් පත්‍ර ද පොලිමර් ක්ලේයි මඟින් මිලිමීටර පහක ඝනකමින් යුතුව සාදා පත්‍රයේ දාර ටූත් පික් එක ආධාරයෙන් පතරොමේ කඩ ඉරි සේ ඇඳගන්න.

 

අපි කුරුල්ලන් සාදමු

 

පතරො‍ෙම් පරිදි කුරුල්ලන්ගේ ඇඟ පොලිමර් ක්ලෙයි මඟින්  ඕවලාකාර ලෙස සාදාගන්න. අවසාන රූපයේ පරිදි ඇස්, පිහාටු, හොට ද අවශ්‍ය සේ පොලිමර් ක්ලේයි ආධාරයෙන් සාදා කුරුල්ලා අලංකාකර ගන්න.

දැන් ළා කොළ පාට පොලිමර් ක්ලේයි ස්වල්පයක් ගෙන අප මුලින් සාදාගත් රවුමේ යටට අවසාන රූපයේ පරිදි අලවා ඊට උඩින්  සාදාගත් කුරුල්ලන් දෙන්නාව තබා ගන්න.

 

ඉන්පසු අවසාන රූපයේ පරිදි මල් සහ පත්‍ර අවශ්‍ය ලෙස තබාගන්න. කුයිලින් වාර්නිෂ් පොලිමර් ක්ලේයි උඩින් පින්සල ආධාරයෙන් ආලේපකර නිර්මාණය නිමකර ගන්න.

 

ගෝණි නූල් කැබැල්ලක් ගෙන රූපයේ පරිදි  බිත්තියේ එල්ලා ගැනීමට රඳවනයක් සාදා ග්ලූගන් මඟින් අලවා ගන්න.

 

මෙම නිර්මාණය සඳහා භාවිත කළ  පොලිමර් ක්ලේයි එක වියළීම සඳහා පැය 48ක් ගත වේ.

 

අත්කම් නිර්මාණ ශිල්පිනී

සුලෝචනා සෙව්වන්දි