අදින් පස්සෙ මල් මහන්න ඉගෙනගන්න ඕනෙ නෑ

අගෝස්තු 19, 2024

 

හෑන්ඩ් එම්බ්‍රොයිඩරි කලාවේ අද අපි ඉගෙනගනු ලබන්නේ මල් මැසීමේ අවසන් කොටසයි. මේ මල් මැසීමේ ක්‍රම ටිකත් ඉගෙනගෙන ඔබට නිර්මාණ කරන්නට පිවිසීමට තව ඇත්තේ බොහොම ටික දවසයි.

ඩෙයිසි (Daisy) - (ඩේසි)

මෙම මල මැසීමේදී භාවිත කරනුයේ ලේ(යි)සි ඩෙ(යි) සි මැස්මයි. පළමුව මලේ මැදින් ප්‍රංශ ගැටේ යොදාගත යුතුය. පසුව මල වෘත්තාකාරව මසාගත යුතුය. එහිදී මලේ ඉහළ සහ පහළ වම්පස හා දකුණුපස පෙති මසා පසුව ඉතුරුවන හිඩැස්වලින් ඉතිරි පෙති මසාගත යුතුය. පෙති සියල්ල ලේ(යි)සි ඩේ(යි)සි වේ.

 

 

ටියුලිප්ස් (Tulips)

මෙම ටියුලිප් මල මැසීමේ දී භාවිත කරනුයේ ෆොගෙට් මී නොට් මලේ පෙති මැසූ ආකාරයමයි. පළමුව නටුව ඇඳ මල සඳහා ඉහළට රේඛාවක්ද එම රේඛාවට දෙපසින් තවත් ඇල රේඛා දෙකක්ද ඇඳිය යුතුයි. මල සඳහා රේඛා තුනකි. පසුව රේඛා තුන තනි මැස්මෙන් මසාගත යුතුය. දැන් එක් එක් රේඛාව මැදිවන ලෙස ලේසිඩේසි මැස්මෙන් මැසිය යුතුය.

 

ඇලියම් (Allium)

 

මෙහිදීද පළමුව අප බ්ලොක් එකක් ඇඳ ගත යුතුය. බ්ලොක් එක ඇඳීමේ දී වෘත්තාකාරව කෙළින් අතට රේඛා ඇඳ ගත යුතුය. (රූපවල දක්වා ඇති පරිදි) එම රේඛා දිගින් වැඩි සහ දිගින් අඩු රේඛාවිය යුතුය. පසුව එම රේඛා කෙළවරේ නැවතත් කෙළින් අතට රේඛාවක් සහ දෙපසට ඇල රේඛා දෙකක් ඇඳිය යුතුය. පසුව මේ සියල්ල මසාගත යුතුය. මෙහිදී සියලුම රේඛා තනි මැස්මෙන් මැසීම සිදුවේ. දිගින් වැඩි සහ අඩු රේඛා එක් පාටකින්ද එම රේඛා අග ඇති ඉතිරි රේඛා වෙනත් පාටකින්ද මසා ගැනීම සුදුසුයි. දම්, සුදු සහ නිල් වර්ණයන් සුදුසුයි.

 

 

වොලිව්මිනස් (Voluminous)

මෙම මල මැසීමේ දී භාවිත කරනු ලබන්නේ සැටින් මැස්මයි. මේ සඳහා අපට අවශ්‍ය ඕනෑම ආකාරයක මලක් ඇඳ ගත හැකියි. නමුත් සැලකිලිමත්විය යුතු කරුණ වන්නේ සැටින් මැස්මට සුදුසු මලක් ඇඳ ගැනීමයි. මලේ මැද පළමුව මසාගත හැකිය. නැතිනම් අවසානයේදී ද මසාගත හැකියි. මැද සඳහා ප්‍රංශ ගැටය භාවිත කරනු ලබයි. මල් පෙති මැසීමේ දී පළමුවෙන්ම තෝරාගත් මල් පෙත්ත තනි මැස්මකින් මසා දෙකට බෙදා ගත යුතුය. එම මැස්මෙන් එක් පසක් පළමුව මසා පසුව දෙවැනි පෙදෙස මසාගත හැකියි.

 

 සන්ෆ්ලවර් (Sunflower)

 

මෙම සන්ෆ්ලවර් මල මැසීමේදී මැහුම් රටා කීපයක් භාවිත කරමින් ක්‍රම කීපයකට මැසිය හැකියි. එනම් මේ සඳහා ලේසිඩේසි මැස්ම භාවිත කළ හැකියි. එලෙසම සැටින් මැස්ම භාවිත කළ හැකියි. මලේ මැද සඳහා ප්‍රංශ ගැටය භාවිත කළ හැකියි. පළමුව මලෙහි බ්ලොක් එක ඇඳ ගත යුතුය. පසුව මල් පෙති මසාගත යුතුය. ඒ සඳහා ලේසිඩේසි මැස්මක් භාවිත කිරීම පහසු වේ. මල් පෙත්ත මැදින් දෙකට බෙදා පළමුව සියලුම මල් පෙතිවල මැද සිට ලේසි ඩේසි මැස්ම මසා ගත යුතුය. පසුව මල් පෙතිවල කෙළවරවල් ලේසිඩේසි මැස්ම මසාගත යුතුය. එනම් පෙත්තකට ලේසිඩේසි මැස්මවල් දෙකක් මසාගත යුතුය. මලට නටුවක් හා පත්‍රයක් අවශ්‍ය ආකාරයකට මසා ගත හැකියි.

 

ඔන්න අද මල් පාඩම අවසන්. අපි ලබන සතියේ සිට නිර්මාණ කිරීමට පටන්ගනිමු.

 

 

උපදෙස් -

ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනි

ඊ.ඒ. සඳමාලි නවෝදිකා