දැන් ඉතින් සල්ලි හොයන්න පටන් ගන්න

අගෝස්තු 26, 2024

අත්කම් නිර්මාණ ලෝකයේ තියෙන ජනප්‍රියම අංගයක් වන හෑන්ඩ් එම්බ්‍රොයිඩරි කලාවේ සියලු ඉසව් ආවරණය වූ පාඩම් මාලාවක් අපි ඔබට ලබා දුන්නෙමු. වෙනත් කිසිම තැනකින් හිමි නොවන මේ අනගි පාඩම් මාලාව ගෙන ආවේ දිරියෙන් නැඟී සිටින අභිමානවත් කාන්තාවක් වීමට කැමැති ඔබ වෙනුවෙන්මයි. මේ නිර්මාණ සමඟින් ව්‍යාපාර ලෝකයට පිවිසෙන්න පිවිසුම් පාලමයි මෙලෙස අද දිග හැරනුයේ.

 

1. හෑන්ඩ් එම්බ්‍රොයිඩරි ලයින් ආර්ට්

(Hand Embroidery Line Art Design)

මූලික මැහුම් රටා, මූලික පත්‍ර රටා, මූලික මල් රටා පාඩම් ඉගෙනීමෙන් අනතුරුව ඔබට පහසුවෙන් හෑන්ඩ් එම්බ්‍රොයිඩරි නිර්මාණ කිරීමේ හැකියාව ලැබේ. අද පාඩමේදී අපි ඉගෙන ගනු ලබන්නේ එවැනි හෑන්ඩ් එම්බ්‍රොයිඩරි නිර්මාණයක් කරගන්නා ආකාරයයි. මෙහිදී ඉතා පහසුම සරලම නිර්මාණයක් ලෙස හෑන්ඩ් එම්බ්‍රොයිඩරි ලයින් ආර්ට් හැඳින්විය හැකියි. ඒ සඳහා බ්ලොක් කීපයක්ද මෙහි දක්වා ඇත. මේවා මසා ගැනීමේ දී පත්‍ර වර්ග ඇත්නම් ඔබට අවශ්‍ය ආකාරයකට එම පත්‍ර වර්ග පුරවා ගත හැකිය. මල් වර්ග ඇත්නම් එය ද මසාගත හැකියි. බොහෝ විට මල් වර්ග සඳහා සැටින් මැස්ම භාවිත කරනු ලැබේ. එසේම රේඛා මැසීම සඳහා ආපසු මැස්ම භාවිත කරයි. අවශ්‍ය තැන්වලදී අවශ්‍ය ආකාරයට වර්ණ වෙනස් කරගත යුතුය. උදාහරණයක් ලෙස ගසක අතු කොටසක් නම් එහි පත්‍ර කොටස් ටික පුරවා අතු කොටස ආපසු මැස්මෙන් මැසිය යුතු අතර ඒ සඳහා කොළපාට, දුඹුරුපාට වර්ණ භාවිත කළ හැකියි. බොහෝවිට ලයින් මැසීම සඳහා කළු වර්ණය භාවිත කරනු ලැබේ.

 

 2. හෑන්ඩ් එම්බ්‍රොයිඩරි ගසක් නිර්මාණය කිරීම.

(Hand Embroidery Tree Design)

එනම් Hand Embroidery ගසක් නිර්මාණය කරගන්නා ආකාරයයි. මේ සඳහා ගසේ බ්ලොක් එක ලබා දී ඇත. මෙය ඉතා පහසු නිර්මාණයක්වන අතර ගස සඳහා ප්‍රංශ ගැටය භාවිතා කළ හැක. එසේම පත්‍ර සඳහා ලේසිඩේසි මැස්ම භාවිත කළ හැකි අතර ප්‍රංශ ගැටය ගසේ මල්, ගෙඩි, පත්‍ර සියලුම දේවල් සඳහා භාවිත කළ හැකියි. එකම වර්ණයකින් හෝ වර්ණ කීපයක් භාවිතා කරමින් මෙම ගස නිර්මාණය කරගත හැකියි. කඳ කොටස මැසීම සඳහා සැටින් මැස්ම භාවිත කිරීම පහසු වේ. එසේම ගසේ අවුට්ලයින් එක සඳහා ආපසු මැස්ම භාවිත කළ හැකියි. සැටින් මැස්ම භාවිත කරමින් ගසේ කඳ අතු කොටස් සියල්ල පුරවා ගත යුතුය.

 

උපදෙස් -

ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනි

ඊ.ඒ. සඳමාලි නවෝදිකා