හදිස්සියේ හනි හනිකට සිල්ක් පේන්ට් යසට හැඩට

ඔක්තෝබර් 14, 2024

 

සිල්ක් පේන්ටින් ක්‍රමය කා අතරත් හැමදාමත් ජනප්‍රියයි. මෙහිදී බොහෝ දුරට සාරි පේන්ට් කිරීමේ හැකියාව ලැබේ. අපි පළමුව පේන්ට් කිරීම සඳහා වැලන්ටිනා රෙදි කොටසක් තෝරාගැනීම වැදගත් වේ. එසේම ඉතා පහසුවෙන් වැලන්ටිනා රෙදි කොටස මත පින්තාරු කිරීම කළ හැකියි.

 

වැලන්ටිනා රෙදි කොටස තෝරාගැනීමේදී වර්ණය කුමක් වුණත් ගැටලුවක් නැත.

ඔබ පළමු වතාවට වැලන්ටිනා රෙදි මත පින්තාරු කරන කෙනෙක් නම් තද වර්ණයක් තෝරාගන්නවාට වඩා ළා වර්ණයක් තෝරාගැනීම සුදුසු වේ.

 

එසේම පින්තාරු කිරීමට ප්‍රථමව රෙදි කොටස යටින් ඉටි කොළයක් තබා අල්පෙනෙති ගසා ගත යුතුය. මෙහිදී ෆැබ්රික් පේන්ට් වර්ග සහ මෙටලික් වර්ණ අවුට් ලයිනර් භාවිතයෙන් පින්තාරු කිරීම කළ හැකියි. එසේම වැඩි අලංකාරය සඳහා පබළු වර්ග, භාග පබළු යනාදිය එකතුකර ගත හැකියි.

පළමුවෙන්ම අපි පින්තාරු කිරීමට ගන්නා නිර්මාණය වැලන්ටිනා රෙද්ද මත ඇඳ ගත යුතුය. ඒ සඳහා රෙදි කාබන් එකක් භාවිත කළ හැකියි. ඊට පසු අවශ්‍ය ආකාරයට පින්තාරු කිරීම සිදුකළ යුතුය. මෙහිදී ෆැබ්රික් පේන්ට් පමණක් භාවිත කළ හැකි අතර මෙටලික් කලර්ස් පමණක්ද භාවිත කරන්න පුළුවනි.

 

මෙටලික් කලර්ස්, ෆැබ්රික් පේන්ට්වලට වඩා ඝනකමින් වැඩිය. එසේම මෙහි දිලිසෙන ගතියක් දැකගත හැකිවේ. මෙමඟින් කරන නිර්මාණය ඉතාම අලංකාර වේ. ෆැබ්රික් පේන්ට්වලින් පින්තාරු කරන ආකාරයටම මෙටලික් කලර්ස්වලින් පින්තාරු කළ හැකියි.

 

 

මෙටලික් අවුට් ලයිනර් භාවිත කරමින් ඇඳගන්නා ලද නිර්මාණයේ රේඛා වර්ණ ගැන්විය හැකියි. මෙයද දිලිසෙන ගතියකින් යුක්ත වේ. එසේම මෙටලික් වර්ණ සහ ෆැබ්රික් එකිනෙක මිශ්‍ර කරමින් වර්ණ සකසා ගත හැකියි. මෙහිදී වෙනමම වර්ණ නොසෑදෙන අතර උදාහරණයක් ලෙස gold metallic colours සහ රතු වර්ණ ෆැබ්රික් පේන්ට් එකිනෙක මිශ්‍ර කිරීමෙන් රතු වර්ණයට හානියක් නොවී එයට ඉතා අලංකාර දිලිසෙන ස්වභාවයක් ගෙන දේ.

 

ඊට අමතරව නිර්මාණය පින්තාරු කර අවසානයේ පැය විසි හතරක් යනතුරු වියළා ගත යුතුය. පසුව අපට අවශ්‍ය ආකාරයට මෙයට අලංකාරය සඳහා විවිධ දෑ එකතු කළ හැකිය.

 

එනම්,

*ෆුල් බීඩ්ස් - සම්පූර්ණ පබළු

*හාෆ් පර්ල් - භාග පබළු

*කට් බීඩ්ස් -

*ඩයමන්ඩ් බීඩ්ස් - දියමන්ති පබළු

*ක්‍රිස්ටල් ස්ටෝන්ස්

*ස්ටෝන්ස් - ගල්

 

මේ නිර්මාණකරණයට පිවිසෙන ඔබට ඉතා ඉක්මනින්ම කාර්යාල සාරි, බ්ලවුස් හරි අපුරුවට හැඩගන්වා ගත හැකියි.

 

උපදෙස් -

ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනී

ඊ.ඒ. සඳමාලි නවෝදිකා