වයින් වීදුරුවට කදිම පෙනුමක් ගෙනෙන රෙසින් කෝස්ටර්

දෙසැම්බර් 2, 2024

මේ උදා වෙන්නේ හැමෝම මඟ බලාගෙන හිටපු මාසයක්. දෙසැම්බර් සීතලත් එක්ක හිතට දැනෙන මේ නත්තල් මිහිරියාව විඳගන්න කල්තියාම හැමෝම සූදානම් වෙන්න පටන් අරගෙන. අවුරුද්දක් පුරාවට පාළුවෙන් පිරිලා තියෙන ගෙදර මල් හිනා හඬ පැතිරෙන.. පුංචි පුංචි රස කතා මැද ගෙවල් දොරවල් අස් කරන... පුංචි පුංචි රස කැවිලි හැදෙන... රතු, කොළ, සුදු වර්ණවලින් හරි අපූරු නත්තල් සැරසිලිවලින් ගෙවල් හැඩවෙන හරි අපූරු කාලයක්.

ඉතින් කොච්චර සීතල වුණත් නත්තලේ සතුට බෙදා හදා ගන්න එන අමුත්තන්ගෙන් නම් අඩුවක් නැහැ. නත්තල් සීතලත් අරගෙන නිවෙසට එන්න අමුත්තන්ව පුදුම කරවන නිර්මාණයක් ඔයාටම කරන්න පුළුවන්නම්, මේ නත්තලේ ඔයාගේ සතුට දෙගුණ තෙගුණ වෙන්නත් හේතුවක් වේවි.

ඒ වෙනස කෑම මේසයෙන්ම පටන් ගන්න පුළුවන්නේ. මොකද නත්තල ගැන කතා කරද්දී නත්තල් කෑම මේසය අමතක කරන්නම බැහැ. අද කියන්න යන්නේ නත්තල් කෑම මේසය සරසන ටේබල් මැට් එහෙමත් නැත්නම් කෝස්ටර් සෙට් එකක් රෙසින්වලින් හදන විදිහ කියලා දෙන්නයි.

අපි හදන්නේ රෙසින් නිර්මාණයක් නිසා මේ නිර්මාණයේ වැදගත්ම දේ මිශ්‍රණය සකසා ගැනීමයි. ඒ නිසා වෙනදා වගේම මේ මිශ්‍රණය නිවැරදි පරිමාවට සකසා ගනිමු.

රෙසින් මිශ්‍රණය සැකසීමේදී රෙසින් සහ හාඩ්නර් යන රසායනික දියර වර්ග දෙක, එකට මිශ්‍ර කරගන්න අවශ්‍යයි. එහිදී රෙසින් කප් එකක් ගෙන එයට රෙසින් සහ හාඩ්නර් 2:1 අනුපාතයට දමාගෙන හොඳින් මිශ්‍ර කරගන්න. මෙය මිශ්‍ර කර ගත යුතු වන්නේ එක් පැත්තකට වන ලෙසය. නැත්නම් මිශ්‍රණයේ වායු බුබුළු මතුවීමෙන් ගුණාත්මක නිර්මාණයක් කර ගැනීමට නොහැකි වේවි.

මෙසේ විනාඩි 2-3ක් මිශ්‍ර කරන විට වතුර මෙන් පිරිසුදු විනිවිද පැහැයක් පැමිණි විට එය හොඳින් මිශ්‍ර වී ඇති බව හොඳින් වැටහේවි.

මෙවර අපි මේ සඳහා ෂඩස්‍රයක හැඩය ගත් මෝල්ඩ් එකක් තෝරාගෙන තිබෙනවා. එහිදී ටේබල් මැට් එක සම්බන්ධ කළ හැකි ආධාරකයක හැඩය ගත් තවත් මෝල්ඩ් එකක්ද අවශ්‍යයි. එමඟින් ටේබල් මැට් එකට වෙනස්ම පෙනුමක් ලබා ගත හැකියි. රූපය දෙස බැලීමේදී මෝල්ඩ් එකේ හැඩය පිළිබඳ ඔබට අවබෝධයක් ලබා ගත හැකියි. රතු, කොළ සහ රන්වන් පැහැ පික්මන් වර්ණකත්, වර්ණ කිහිපයකින් චන්කි ගිලිටර් ද මේ සඳහා අවශ්‍යයි.

පළමුව ෂඩස්‍රයක හැඩය ගත් මෝල්ඩ් එක යොදාගෙන කරන රෙසින් නිර්මාණය සකසා ගනිමු. ඒ සඳහා කුඩා කප් දෙකක් ගෙන එයට රෙසින් මිශ්‍රණයෙන් කොටස බැගින් දමා ගන්න. එකකට රතු පැහැ පික්මන් වර්ණකය එකතු කර මිශ්‍ර කර ගන්න. එයටම රතු පැහැ චන්කි ග්ලිටර් එකතු කර මිශ්‍ර කර ගන්න. අනෙක් කප් එකට කොළ පැහැ පික්මන් වර්ණකය එකතු කර කොළ පැහැ චන්කි ග්ලිටර් එකතු කරන්න. දැන් ෂඩස්‍ර හැඩය ගත් මෝල්ඩ් දෙකක් ගෙන ඒවාට මේ වර්ණ දෙක එකතු කර විය‍ෙළන්න තබන්න. ඉන්පසු marry chirstmas යනුවෙන් සඳහන් වන ස්ටිකරය අලවා ගත යුතුයි. ඒ සඳහා නත්තලට ගැළපෙන සුබපැතුමක් ප්‍රින්ට් කර වුවද අලවා ගත හැකියි. හොඳින් වියළුණු පසු එම ස්ටිකර් දෙක අලවා එයට උඩින් පෙර සකසා ගත් ක්ලියර් රෙසින් මිශ්‍රණයෙන් කොටසක් දමා වියළෙන්න දමන්න. රූපයේ දැක්වෙන රතු, සුදු සහ කොළ වර්ණ ෂඩස්‍රය නිර්මාණය කරගෙන ඇත්තේ චන්කි ග්ලිටර් භාවිත නොකරය. එහිදී කප් තුනකට රෙසින් මිශ්‍රණ කොටස බැගින් දමා එක් එක් වර්ණ කප් තුනක එකතු කරගෙන එම වර්ණ ශේඩ් වන ආකාරයට මෝල්ඩ් එකට එකතු කර නිර්මාණය කර ඇත. පැය 4 - 5ක් ගිය පසු මෝල්ඩ් එකෙන් ගලවා ගන්න.

අවසානයට රූපයේ දැක්වෙන පරිදි ආධාරක කොටසට ෂඩස්‍ර කොටස සම්බන්ධ කර ගැනීමෙන් අපූරු කෝස්ටර් එකක් නිර්මාණය කර ගත හැකියි. මේවා වයින් වීදුරු තැබීමට වඩාත් ගැළපේ.

 

 රෙසින් නිර්මාණ ශිල්පිනී

සුදර්ශි ලංකා

I do creations by lanka

 

 

[email protected]