ලස්සන ගවුමක්, කවුද මැහුවේ...?

දෙසැම්බර් 16, 2024

 

මැහුම් කියන්නේ මැජික් එකක්. පුංචි නූලකින්, හීන් ඉඳිකටුවකින් කරන අපූරු මායාවක්... මැහුම්කාරියක් වෙන්න හැමෝටම බෑ. මහන ඇඳුමේ ලස්සන, පිළිවෙළ මේ හැමදේම එකතුවෙලා අවසානයේ එය අපූරු නිමාවක් වෙනවා.

 

‘ඒක නම් හරි ලස්සනයි...‘ ‘කවුද මැහුවේ?‘ එවන් පැසසුමකට ලක්වන විදිහට මේ ගවුම් මෝස්තරය ඔබත් මසා ගන්න.

 

බ්ලවුසයට මිමි

 

* උරහිස = අඟල් 17

* කරවට = අඟල් 15

* ඉණ දක්වා උස = අඟල් 15

* පපුවවට = අඟල් 37

* ඉණවට = අඟල් 33

* අත උස = අඟල් 18

* කැප් උස = අඟල් 4

* අත අගවට = අඟල් 7

* පතරොමේ අත්කට = අඟල් 10

 

මසා ගැනීම

බ්ලවුසය සාදා ගැනීම සඳහා ඔබට අවශ්‍ය නම් පතරොමක් සාදාගත හැකියි. නැතිනම් රෙදි මත ඇඳ කපා ගත හැකියි. බ්ලවුසය සඳහා නැම්මට තබා ගන්න. ඉහළින් හරහට රේඛාවක් අඳින්න. එය උරහිස රේඛාවයි. උරහිස මිම්ම දෙකට බෙදා එම පිළිතුරට මැහුම් වාසි අඟල් 1/2ක් එකතුකර උරහිස රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AB වේ. B සිට අගල් 1 3/4ක් පහත් කර A ලක්ෂ්‍යයට යා කරන්න. එය AC වේ.

කරවට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AD වේ. එම පිළිතුරෙන් අඟල් 1/2ක් අඩුකර ඉත‍ිරි ප්‍රමාණය AC රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AE වේ. DE යාකර මූලික කර අඳින්න.

 

E සිට පහතට ඉණ දක්වා උස පහත්කර හරහට රේඛාව අඳින්න.

අත්කට රේඛාවට උස සෙවීම සඳහා උරහිස ප්‍රමාණය දෙකෙන් බෙදා එම පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AF වේ. හරහට රේඛාවක් අඳින්න. එය අත්කට රේඛාවයි.

අත්කට රේඛාවට දිග ලකුණු කිරීම සඳහා පපුවවට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුරට මැහුම් වාසි එකතු කර අත්කට රේඛාවේ හරහට ලකුණු කරන්න. එය FG වේ.

ඉණවට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුරට මැහුම් වාසි එකතු කර ඉණ රේඛාවේ හරහට ලකුණු කරන්න. එය HI වේ. GI යාකර අංශය අඳින්න.

 

අත්කට වක්‍රය ඇඳීම සඳහා C සිට අත්කට රේඛාවට කෙළින් ඉරක් ඇඳ එම රේඛාවේ මැද ලක්ෂ්‍යය ලකුණු කරන්න. උරහිස මිම්මෙන් අඟල් 1/2ක් අඩුකර ඉතිරි ප්‍රමාණය නැම්මේ සිට මැද ලක්ෂ්‍යය දෙසට ලකුණු කරන්න. C සිට එම ලක්ෂ්‍යය කැපීයන සේ රේඛාවක් ඇඳ අත්කට වක්‍රය අඳින්න.

කර ගැඹුර පහත්කර අත්කටට කර අඳින්න. මැහුම් වාසි තබා කපා ගන්න.

සම්පූර්ණ උසින් කොටසක් ඉවත්කර පසුව එය අල්ලා ඇත. ඒ සඳහා පපුව අඩියෙන් පමණ කපා ගන්න. මැද කරට ගැදර් කරන්න.

 

පසුපස

පසුපස සඳහා ද බලවාටියට තබාගන්න. අඟක් 1ක් මැහුම් වාසි තබා රේඛාවක් අඳින්න. ඉදිරිපස පතරොම එම රේඛාවට තබා ගන්න. ඉදිරිපස ප්‍රමාණයට පසුපස කපාගන්න.

 

අත

අත සඳහා රෙදි කොටස නැම්මට තබා ගන්න. ඉහළින් රේඛාවක් අඳින්න. නැම්මේ උඩ සිට පහතට කැප් උස පහත් කරන්න. එය AB වේ. හරහට රේඛාව අඳින්න. A සිට පහතට උස පහත් කරන්න. එය AC වේ. හරහට රේඛාව අඳින්න. එය වාටිය නැම්ම රේඛාවයි. වාටිය රේඛාව සඳහා මැහුම් වාසි තබා වාටිය රේඛාව අඳින්න. පතරොමේ අත්කට ප්‍රමාණය A සිට හැඩේට ලකුණු කරන්න. එය ADවේ. එම රේඛාවේ මැද ලක්ෂ්‍යය ලකුණු කර අත්කට වක්‍රය අඳින්න. අත අගවට ප්‍රමාණය දෙකෙන් බෙදා එම පිළිතුරට මැහුම් වාසි හා රැලි සඳහා එකතුකර වාටිය රේඛාවේ හරහට ලකුණු කරන්න. එය BE වේ. ED යාකරන්න. රැලි සඳහා අවශ්‍ය ඉඩ ඉහළින් හා අංශයන් තබා බෝරිච්චි අත සාදා ගන්න.

අතද ඉහළ කොටස කපාගන්න. පසුව ඉලාස්ටික් කරගන්න.

 

බ්ලවුසයේ ඉදිරිපස ගැදර් කර ඇති නිසා එය ගැදර් කර සායට ඇල්ලීමේදී ඉදිරිපස විවරය තබා අල්ලා ගන්න.

 

සාය

ඉණවට අඟල් 34

උකුළවට අඟල් 38

උකුළ දක්වා උස අඟල් 7

උස අඟල් 16

සාය සඳහා නැම්මට තබාගන්න. ඉහළින් හරහට රේඛාවක් අඳින්න. එය ඉණ රේඛාවයි. ඉණ රේඛාවේ සිට පහතට උකුළ දක්වා උස හා සම්පූර්ණ උස පහත්කර හරහට රේඛා අඳින්න.

ඉණවට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුරට මැහුම් වාසි එකතුකර ඉණ රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AB වේ. උකුළ වට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුරට මැහුම් වාසි එකතුකර උකුළ රේඛාවේ හරහට ලකුණු කරන්න. එය CD වේ.

CD මිම්මෙන් අඟල් 1 1/2ක් පමණ අඩුකර වාටිය රේඛාවේ ලකුණු කරන්න. එය EF වේ.

පසුපස පතරොම සඳහා බලවාටියට තබාගන්න. බලවාටියේ සිට මැහුම් වාසි තබා රේඛාවක් ඇඳ එම රේඛාව මතින් ඉදිරිපස පතරොම තබා ඉදිරිපස ආකාරයටම කපාගන්න. පසුපස මිමි ලකුණු කිරීමේදී අඟල් 1/2ක් ලකුණු කරන්න. ඉණට හා වාටියට මැහුම් වාසි තබා කපාගන්න. වාටියට ෆිල් එකක් අල්ලා ඇති බැවින් අවශ්‍ය උසට කපා අල්ලා ගන්න.

 

මැසීම

බ්ලවුසය මැද ගැදර් කරන්න.

කර පේසින් කර පටියක් අල්ලා ගන්න.

අත අල්ලා ගන්න.

සායට අල්ලා ගන්න.

අංශය මසන්න.

වාටියට ෆිල් එක අල්ලා ගන්න.

 

 

උපදෙස් -

මැහුම් නිර්මාණ

ශිල්පිනී දිලූෂි දසනායක

 

 

රූ රටා - නිලක්ෂි ආරියරත්න

ඡායාරූපය - ශාන් රූපස්සර