කුෂන් කවරයට මල් රවුමක්

දෙසැම්බර් 23, 2024

 

නත්තල වගේම නව වසරත් ළඟ ළඟම එනවා. නිවෙසේ හැඩට කුෂන් කවර ටිකක් අලුතෙන් නිර්මාණය කර පුටු සෙටියට ලස්සනක් ගෙනාවොත් හොඳයි නේද? මෙන්න එහෙනම් ඒ සඳහා අවස්ථාව.

 

අවශ්‍ය ද්‍රව්‍ය:-

අඟලක් පළල විවිධ වර්ණවල රිබන්

අඟල් 1/2ක් පළල විවිධ වර්ණවල රිබන්

කොළ වර්ණ කිහිපයක රිබන්

කැරළි නූල්

ටැපැස්ට්‍රි ඉඳිකටු

ලිනන් රෙදි

රාමුව

රෙදි පින්තාරු

තීන්ත

පින්සල්

මල් රේණු (වෙළෙඳපොළෙන් ගත්)

 

නිර්මාණය කිරීම:-

පළමුව කුෂන් කවරයේ ප්‍රමාණය තීරණය කරන්න. එය අඟල් 16×16, 18×18 වැනි ප්‍රමාණයක් විය හැකියි. ඒ අනුව මැහුම් වාසිද තබා රෙදි කොටසක් කපාගන්න. පිටුපස සඳහා 8 ×16, 9×18 ලෙස ඉදිරි පළුවේ ප්‍රමාණයට ගැළපෙන ලෙස කොටස් දෙකක් කපා මැදින් සිප් එකක් සම්බන්ධ කර ගන්න.

ඉදිරි පළුව සඳහා ගත් රෙදි කොටස ගෙන රවුමක් ඇඳ එම රවුමේ මල් ඇඳගන්න. පසුව රෙදි පින්තාරු තීන්ත භාවිත කර වර්ණ ගන්වා වේළා ගන්න. නැත්නම් මෙම නිර්මාණය ඡායා පිටපතක් ගෙන එමඟින් දල සටහනක් සකසා එය රෙදි කොටසට පිටපත් කර ගන්න. ලොකු රෝස මල් ලූප් මැස්මෙන් හා රිබන් එක අඹරවා කෙළින් මැස්මෙන් මසාගන්න. ඒ සඳහා ගැළපෙන රෝස, රතු වර්ණවල රිබන් භාවිත කරන්න. මල් මැදට කොළපාට මිලිමීටර් 2ක් පළල රිබන් භාවිත කර ප්‍රංශ ගැට මහගන්න. කහපාට කැරළි නූල්වලින් ද ප්‍රංශ ගැට මහන්න. තැඹිළි පාටට හුරු තද කහපාට ලූප් මැස්මෙන් මසන්න. ඒ සඳහා අඟලක් පළල හා අඟල් 1/2ක් පළල රිබන් භාවිත කරන්න. මල් මැදට කොළ පැහැති මිලිමීටර් 02ක් පළල රිබන්වලින් ප්‍රංශ ගැටයක් මසා එය වටේට රන්වන් පැහැ කැරළි නූලෙන් කුඩා ප්‍රංශ ගැට මසන්න. එහි පොහොට්ටු සඳහා කෙළින් මැස්මක් බුරුලට මසා එහි මැදින් රන්වන් පැහැ කැරළි නූලෙන් ප්‍රංශ ගැට මසන්න. දම්පාට හා රෝසපාට මල් සාමාන්‍ය රිබන් ගැදර් කිරීමේ ක්‍රමයට මසන්න. එම මල් මැදට වෙ‍ෙළඳපොළෙන් ගත් මල් රේණු තබා මසන්න. මෙරූන් වර්ණ මල් ද එලෙස මසන්න. ඒවායේ පොහොට්ටු සඳහා ‍ෙකළින් මැස්මක් බුරුලට මසා එහි මැදින් රන්වන් පැහැ කැරළි නූලෙන් ප්‍රංශ ගැට මසන්න.

දම්පාට, රෝසපාට, ළා නිල්පාට මල් කෙළින් මැස්මෙන් බේබි රිබන් භාවිත කර මසාගන්න. මැදට කහ පාටින් ප්‍රංශ ගැට මහන්න. සුදුපාට මල් කෙළින් මැස්මෙන් කුඩා එකක් ලෙස බුරුලට මසාගන්න. එහි සිට පිටතට සුදු කැරළි නූලෙන් කෙළින් මැහුම් තුන හතරක් මසාගන්න. නටු නැටි මැස්මෙන් හා කවුච් කිරීමෙන් අවශ්‍ය ලෙස මසන්න. කොළ සඳහා විවිධ කොළ වර්ණ විවිධ ප්‍රමාණවල රිබන් භාවිත කර රිබන් මැස්මෙන් මසාගන්න. මේ සඳහා ලේසි ඩේසි මැස්මෙන් ද මල් මසාගත හැකියි. මෙම මල් රවුමට විවිධ ලෙස මල් එකතු කර ඔබේ කැමැත්ත පරිදි ලස්සන කර ගන්න පුළුවන්. දැන් පිටුපස සඳහා සකසා ගත් රෙදි කොටස අල්ලා කුෂන් කවරය නිමා කර ගන්න.

 

[email protected]