වර්ෂ 2025 ක්වූ May 05 වැනිදා Monday
ගෙදරම හැඩ කරන Night Lamp මෙහෙම හදමු

ලස්සන දේවවලින් පිරුණු කෙනෙක් වෙන්න. ලස්සන දේවල් බෝ කරන කෙනෙක් වෙන්න. තව කෙනෙක්ට ඔයාව දැක්කමත් එයාගේ හිත සතුටෙන් පිරෙන කෙනෙක් වෙන්න. ඒ වගේම ඔයා වටා තිබෙනා වටපිටාවත් හරි අපුරුවට ලස්සන කරගන්න. ආලෝක කරගන්න. මෙන්න ඒ සඳහා අපෙන් කදිම අත්වැලක්.
මේ නයිට් ලෑම්ප් (Night Lamp) එක ඔබේ නිදන කාමරයේ හෝ මේසයක් මත අලංකාර කිරීමට යොදාගත හැකියි. එසේම ස්වයං රැකියාවක් ආරම්භ කිරීමටද ඔබට මාර්ගෝපදේශයක් වනු ඇත.
එසේ නම් අද අපි හිත නිවන පයිප් ක්ලීනර් (Pipe cleaner) ලිලී මල් නයිට් ලෑම්ප් එකක් හදමු.
අවශ්‍ය ද්‍රව්‍ය -
පයිප් ක්ලීනර් (මල සෑදීමට කැමති පාටකින් පයිප් ක්ලීනර් 24ක්, කොළ සහ නටුව සෑදීමට කොළ පාටින් 30ක්, රේණු සඳහා කහ පාට පයිප් ක්ලීනර් 2ක්
මල් කම්බි 2ක්
ග්ලූ ගන්
2M ෆේරි ලයිට් වැලක්
කතුරක්
සාදන ආකාරය -
පළමුව මල් පෙති සාදා ගන්න
එක මල් පෙත්තකට පයිප් ක්ලීනර් 4ක් ගන්න. මලට මල් පෙති 6ක් අවශ්‍ය වේ. රූපයේ දක්වා ඇති ලෙස පයිප් ක්ලීනර් 4ක් ගෙන දෙකට නවා පයිප් ක්ලීනර් 3ක් ඇතුළින් එක පයිප් ක්ලීනර් එකක් යවා අඹරා ගන්න. පසුව එම හතරම එකට සිටින සේ රූපයේ සඳහන් පරිදි සාදාගෙන පෙත්ත සාදා ගන්න. (රූපය 1,2,3)
කොළ 3ක් ද ඒ ආකාරයටම සාදා ගන්න. (රූපය 4)
කුඩා මනි පත්‍ර 6ක් සාදා ගන්න. මල් පෙති සාදා ගත් ආකාරයටම. ඒවා මල් පෙතිවලට වඩා කුඩා විය යුතුය. (රූපය 4)
මලේ නටුව කොටසට හා මේසය මත රැඳවීමට රූපයේ සඳහන් පරිදි කම්බි 2ක් එකට තබා නවාගන්න. ඒවා වටා කොළ පාට පයිප් ක්ලීනර් ඔතන්න. අවසාන වන තැන් ග්ලූ ගන් එක භාවිතයෙන් අලවා ගන්න. (රූපය 11,12,13,14)
රේණු සඳහා පයිප් ක්ලීනර්වල වටේ කපා 5 රූපය පරිදි සාදා ගන්න. එම රේණු රූපයේ පරිදි එකතු කර බල්බ් වැල (fairy light) ඒ සමඟ අමුණා ගන්න. (රූපය 6) එය වටා ගම් ආධාරයෙන් මල් පෙති, මනි පත්‍ර (රූපය 7,8,9,10), නටුව සහ කොළ අලවා කොළ පැහැති පයිප් ක්ලීනර් ඔතන්න.
බල්බ් වැලේ ස්විචය මලේ නොපෙනෙන පැත්තෙන් අලවා ගන්න.