වර්ෂ 2025 ක්වූ May 05 වැනිදා Monday
ගාල්ලෙන් ලෝකෙටම යන හේලීගේ බතික් රටා

මෝස්තර නිරූපිකාවක ලෙස රංගනයට පිවිසි ඈ සිරිපැරකුම්, සරිගම, අන්ඩර් පැන්ටීස් තීෆ් හෙවත් ‘ජංගි හොරා, ස්වර’ ආදී සිනමා පට කිහිපයකම අභියෝගාත්මක චරිත නිරූපණය කරමින් සිය රංගන කෞෂොල්‍ය විදහාපෑවාය. මේ වනවිට ඈ බතික් කලාවට පිවිස සිටින්නීය. 2020 වසරේ කර්මාන්ත අමාත්‍යාංශය මඟින් පැවැත්වූ බතික් පාඨමාලාවේ ප්‍රථම ස්ථානය දිනාගත් ඈ බතික් කලා උපදේශිකාවකි. ඈ නමින් හේලී පෙරේරාය. බතික් කලාවෙන් දහස් ගණන් සිසු සිසුවියන් බිහි කළ හේලී, ජාත්‍යන්තර වෙළෙඳපොළත් දිනාගෙන අවසන්. ඈ ඒ කතාව කියන්න හඬ අවදි කළේ මේ විදිහට.
"කලින් මම වෘත්තීයමය වශයෙන් නිරූපණ ශිල්පිනියක්. රඟපෑම් කටයුතුත් කළා. 2016 දී මම විවාහ වුණා. සැමියා ඡායාරූප ශිල්පියෙක්. ඔහු රන්දික අහංගම. කාලයක් යද්දි අපිට හිතෙනවා වෙනස් දෙයක් කරන්න ඕනේ කියලා. ඔහු මට අහම්බෙන් වගේ කියලා දෙනවා ටයි ඩයි භාවිතයෙන් පරණ රෙදි අලුත් කරන හැටි. ඔහු කියලා දීපු මේ කලාවෙන් අද අපි දෙන්නා ලොකු ගමනක් ඇවිත් ඉන්නවා."
පළමු පියවර තැබුවේ කොහොමද?
මුලින්ම අපිට ඕෙන වෙනවා පරණ රෙදි. පරණ රෙදි ටිකක් හොයාගන්නේ කොහොමද කියලා හිතහිත ඉද්දී කහට වැටුණු පරන රෙදි වගයක් අපිට ශොප් එකකින් දෙනවා. ඉතින් අපි මුලින්ම පරණ සුදු පාට ෂර්ට් කිහිපයකට වැට් කියන ඩයි වර්ගය එකතු කරලා ඒ ෂර්ට් වර්ණ ගැන්වුවා. අපි කරපු ඒ හැමදේම ෆේස්බුක් පේජ් එකක් හදලා දැම්මා. ඒවට හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ අතරතුර නැවත මට කලා නිර්මාණවලට ආරාධනා ලැබෙන්න ගත්තා. ඒවටත් මම සම්බන්ධ වුණා. ඒ කාලේම අපේ නිවෙස හදන්න පටන් ගත්තා. ඒ දේවල් එක්ක අපි අර පටන් ගත්ත ටිකත් අතහැරුණා.
එතකොට නැවත ව්‍යාපාරය අරඹන්න හිතුවේ?
කොවිඩ් වසංගතය ආපු නිසා රඟපෑම් කටයුතු නැවතුණා. ඉතින් ආයෙත් අර නවත්වලා හිටපු දේ පටන් ගන්න හිතුවා. මගේ යාළුවෝ කිහිප දෙනෙක්ටත් කතා කරලා මේ ගැන කිව්වා. මම නිරූපණ ශිල්පිනියක් නිසා ඇඳුම් ෂොප් කරන ගොඩක් යාළුවෝ හිටියා. එයාලගේ ෂොප්වල ඉවත්කරන පරණ ඇඳුම් වර්ණ ගන්වන්න අපිට දුන්නා. ඩෙනිම් ෂර්ට්, ඩෙනිම් ස්කර්ට් ඒවගේම කොට්න් සහ ලිනන් ඇඳුම් අපිට ලැබුණා. ඉතින් අපි ඒවා වර්ණ ගන්වන්න පටන් ගත්තා.
මේ බතික් කලාව ගැන කතා කළොත්...
මේ කලාව පටන් අරගෙන තියෙන්නේ චීනයෙන්. පසුකාලීනව ජපානයේත් කිමෝනෝ හදන්න මේ කලාව යොදා ගත්තා. මේක වැඩියෙන්ම මැහුම් රටා දාලා තමයි නිර්මාණය කරන්නේ. ශිබෝරි කලාව යනුවෙන් මෙය හඳුන්වනවා. මේක මැහුම් රටා, නැමුම් රටා, ආධාර භාවිතය ආදි විධික්‍රම භාවිත කරලා මේ නිර්මාණ කරන්න පුළුවන්. ශිබෝරි කලාව කියන්නේ වෙළෙඳපොළේ තියන මිල අධිකම බතික් කලාවක්. ජපානයේ රජවරු වැනි උසස් අයගේ ඇඳුම් සඳහා කරපු කලාවක් මෙය. සිල්ක් රෙදිවලට තමයි ඒ අය මේ කලාව පාවිච්චි කරලා තිබුණේ. පසුකාලීනව මෙය අනිත් අයගේත් ඇඳුම්වලට කරන්න පුළුවන් කලාවක් විදිහට ප්‍රචලිත වුණා. ඉතින් විදේශිකයන් මේ කලාවට හරි ආදරෙයි.
හේලීගේ සාරිවලටත් ලොකු ප්‍රසිද්ධියක් ලැබෙනවා...?
ඒ කාලේ හැමෝම හෑන්ඩ්ලූම් සාරි අඳිනවනේ. පරණ වුණු හෑන්ඩ්ලූම් සාරිය අලුත් කරන්න මම එයාලට හඳුන්වා දුන්නා. අපි ඒ කාලේ හෑන්ඩ්ලූම් සාරියක් ගත්තේ රුපියල් 6000කට වගේනේ. මම එයාලට කියනවා මට පරණ හෑන්ඩ්ලූම් සාරියක් 2500කට අලුත් කරලා දෙන්න පුළුවන් කියලා. ඉතින් ලොකු මුදලක් දීලා අලුත් සාරියක් ගන්නවට වඩා ඒක ලාභදායි. අනික සාමාන්‍යයෙන් ෂොප්වල තියෙන හෑන්ඩ්ලූම් සාරි ගොඩක් එක වගේ. එකම වර්ණ ටික භාවිත කරලා තමයි කරන්නේ. අපි වර්ණ ගන්වද්දී ඒ තිබුණු සාරියම ද කියලා හොයාගන්නත් බැරි වෙන්න අපි ලස්සනට හදලා දෙනවා.
ගොඩක් පාසල්වල ගුරුවරුන් මට සාරි දෙනවා අලුත් කරලා දෙන්න කියලා. සමහර ගුරුවරු එකපාර සාරි 10 -12 ගෙනත් දෙනවා. ඊට අමතරව බැංකු නිලධාරිනියන්. ඒජී ඔෆිස්වල නිලධාරිනියන් වගේ අයගෙන් නිතර ඇනවුම් ලැබෙනවා. හැමෝම ආසයි මේ සාරි නිර්මාණවලට. මොකද මේ හැම සාරියක්ම යුනික්. එක මෝස්තරයක් කරන්න පුළුවන් එක සාරියකට විතරයි. ඉතින් කවදාවත් එක වගේ සාරි දෙකක් නිර්මාණය වෙන්නේ නැහැ. කොට්න් මිශ්‍ර ඕනෑම රෙදි වර්ගයකට මේ කලාව යොදා ගන්න පුළුවන්. එතැනදී පොප්ලීන්, විස්කෝස්, ඕනෑම අමුරෙදි වර්ගයක්, ලිනන්, ඩෙනිම්වලට පුළුවන්. සිල්ක් රෙදි වර්ගවලටත් පුළුවන්. හැබැයි ඒකට වර්ණ ගන්වන්න ඕනේ වෙනම ක්‍රමයකට. මේ නිර්මාණවලදී අපි ළඟ තියෙන නූල්වල පාට මකලා වෙන පාටක් දානවා. ඒක හරියට කොණ්ඩය වර්ණ ගන්වනවා වගෙයි.
මම Hayley Art කියලා පේජ් එකක් කරනවා. ඉතින් මගේ පේජ් එක දැකලා විදේශිකයන් ලංකාවට ආවම මගේ ෂොප් එකටත් එනවා. අපි ඉන්නේ ගාල්ලෙනේ. සංචාරය සඳහා ගාල්ලට එන විදේශිකයන් පවා මගේ නිර්මාණ දැක්කම මේ ශිබෝරි කලාවෙන් කරපු නිර්මාණ කියලා එයාලා හඳුනාගන්නවා. ඉතින් අපිට විදෙස් වෙළඳපොළට අවතීර්ණ වෙන්න අමාරු වුණේ නැහැ. අපි පරණ ඇඳුම් අලුත් කරලා දෙනවා වගේම.. අපිම මෙටීරියල් අරගෙන මේ කලාවෙන් ඇඳුම් සැකසීමත් කරනවා. හැබැයි රෙදි අරගෙන, ඇඳුම් මහලා වර්ණ ගන්වද්දී ලොකු වියදමක් යනවා. එතකොට මිලෙන් ටිකක් වැඩියි. අහංගම පිහිටි අපගේ නිවෙසේ තමයි දැනට ෂොප් එක කරගෙන යන්නේ. වෙනම තැනක වැඩ පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. දැනට මං ළඟ ඇඳුම් මහන්න වෙනම පිරිසක් ඉන්නවා. ප්‍රදර්ශන කාල ළං වුණාම. වැඩි ප්‍රමාණයක් කරන්න ඕනේ. ඉතින් ඒ කාලයේදී අමතර සේවකයන් තාවකාලිකව ගන්නවා. නුවර ඉද්දි මෙහෙ පවුලේ අය හැමෝම උදව් කළා. දැන් ඉන්නේ ගාල්ලේ නිසා අපි දෙන්නා හැමදේම කරගන්නවා.
සැමියාගෙන් ලැබෙන සහයෝගය ගැන කතා කළොත්?
මේ කලාව මට ඉගැන්නුවේ එයා. ඉතින් එයා තමයි මගේ ගුරුවරයා. මම හරියට රවුමක්වත් අඳින්න දන්නේ නැතුව හිටපු කෙනෙක්. ඉතින් සැමියා නිසා මට මේ වැඩේ කරගෙන යන්න තවත් පහසු වුණා. දැන් මහත්තයා චිත්‍ර අඳින්නේ නැහැ. මං අඳිනවා. එයා ඡායාරූප ශිල්පියෙක් වීම මට තවත් වාසියක් වුණා. මම නිර්මාණය කරන ඇඳුම්වල ෆොටෝස් ගන්නේ එයා. සාරි සහ අැඳුම් එල්ලන්න වෙනවෙනම අවශ්‍ය රැක් ටිකත් ඔහුමයි මට හදලා දුන්නේ.
ඡායාරූප- රන්දික අහංගම