පොප් කෝන් ස්ටිච් ක්‍රමයට ක්‍රොශේ බෑග් එකක් ෙගාතමු

ස්වයං රැකියාවකටත් කදිමයි
මාර්තු 24, 2025

අපේ රටට විදෙස් රටවලින් පැමිණි විවිධ දෑ අතර මැහුම් නිර්මාණත් මුල් තැනක් ගනුලබයි. මේ ඉතාලි පොප් කෝන් ස්ටිච් ක්‍රමයට ගොතන අත් බෑගයකි. සාමාන්‍ය ගමනකට මෙන්ම මංගල උත්සවයකට වුවත් රැගෙන යා හැකියි. ස්වයං රැකියාවක් ආරම්භ කිරීමට ද ඔබට මාර්ගෝපදේශකයක් වනු ඇත.

 

එසේනම් හිත නිවන ගෙතුම් කලාවෙන් වෙනස්ම ආකාරයේ ලස්සන අත් බෑගයක් නිර්මාණය කරමු

අවශ්‍ය ද්‍රව්‍ය -

- බෑග් කෝඩ් හෝ මිල්ක් කොට්න් නූල්

- මිලි මීටර් 2.5 හෝ මිලි මීටර් 3

ගෙතුම් කටුවක්

- ⁠බෑග් හැන්ඩ්ල් යුගළක්

- ටැපැස්ට්‍රි ඉදිකටුවක්

- ගම්

- කතුරක්

 

 නිර්මාණය කිරීම -

 

පළමුව 1 රූපයේ පෙන්වා ඇති පරිදි බෑග් කෝඩ් හෝ මිල්ක් කොට්න් නූල්වලින් මැජික් රින්ග් එක සාදාගන්න.

 

දෙවනුව දම්වැල් දෙකක් ගොතා මැජික් රින්ග් එකට දෙපට පිරවිලි (double crochet) 8ක් ගොතන්න. (2 සහ 3 රූප)

 

ඉන්පසු මැජික් රින්ග් එකේ කුඩා නූල් කැබැල්ලෙන් ඇද එය හොඳින් තද කර පළමුවෙන් ගෙතූ දම්වැල් දෙකෙහි දෙවන දම්වැලට සම්බන්ධ කරන්න (4 රූපය)

 

දැන් අපි මේ දෙපොට පිරවිලි මැදට පොප්කෝන් ස්ටිච් ගෙතිය යුතුයි. ඒ සඳහා දම්වැල් 3ක් ගොතා පිරවිලි දෙකක් අතර පළමු හිඩැසට දෙපට පිරවිලි 5ක් ගොතන්න. ඉන්පසු පළමු දෙපොට පිරවිල්ල තුළින් ගෙතුම් කටුව ඇතුළු කරන්න. ලූපය ඒ තුළින් එළියට ඇදිය යුතුයි. (5 රූපය) දැන් පළමු පොප් කෝන් ස්ටිච් එක ගොතා අවසන්. (6 රූපය)

 

මේ ආකාරයටම දෙපොට පිරවිලි 8ට පොප් කෝන් ස්ටිච් 8ක් ගොතා ගන්න. පොප් කෝන් ස්ටිච් දෙකක් අතරට දම්වැල් දෙකක් ගොතන්න. පළමුවෙන් ගෙතූ දම්වැල් 3ට සම්බන්ධ කර පළමු වටය නිමා කරගන්න.

 

මෙලෙස පොප් කෝන් ස්ටිච් වට 7ක් ගොතා ගත යුතුයි.

 

1 වටය - දෙපොට පිරවිලි 8ට පොප් කෝන් ස්ටිච් 8යි. (1,1,1.... රටාව) - (7 රූපය)

 

2 වටය - එක් පොප් කෝන් ස්ටිච් එකකට පොප් කෝන් ස්ටිච් දෙක බැඟින් 16යි. (2,2,2.... රටාව)

 

3 වටය - පොප් කෝන් ස්ටිච් දෙකක් එකම තැනට සහ එකක් මාරුවෙන් මාරුවට (2,1,2,1.... රටාව)

 

4 වටය - පොප් කෝන් ස්ටිච් දෙකක් එකම තැනට සහ පොප් කෝන් ස්ටිච් එක බැඟින් දෙකක් (2,1,1,2,1,1.... රටාව)

 

5 වටය - පොප් කෝන් ස්ටිච් දෙකක් එකම තැනට සහ එක බැඟින් 3ක් (2,1,1,1,2,1,1,1...රටාව)

 

6 වටය - පොප් කෝන් ස්ටිච් දෙක බැඟින් එකම තැනට සහ එක බැඟින් 4ක් (2,1,1,1,1,2,1,1,1,1.... රටාව)

 

7 වටය - පොප් කෝන් ස්ටිච් දෙකක් එකම තැනට සහ එක බැඟින් 5ක් (2,1,1,1,1,1,2,1,1,1,1,1.... රටාව)

මෙම වටයේදී අවසාන පොප් කෝන් ස්ටිච් 5 ගොතන්නෙ නැතිව ඉතිරි කරන්න

 

දම්වැල් 3ක් ගොතන්න. ගෙතුම් අනිත් පැත්ත හරවා අවසන් පොප් කෝන් ස්ටිච් එක හමුවන තුරු දෙපොට පිරවිලි ගොතාගෙන යන්න. (8 රූපය)

 

ඉන්පසු ඔබේ ‍බෑග් හැන්ඩ්ල් එක ගෙන එයත් අල්ලා ගනිමින් ඉතිරි කළ පොප් කෝන් ස්ටිච් 5 ප්‍රමාණයට දෙපොට පිරවිලි ගොතන්න. (9 රූපය)

 

මෙවැනි කොටස් දෙකක් නිර්මාණය කරගෙන අනවශ්‍ය නූල් කොටස්වලට ගම් දමා කපා ඉවත් කරගත යුතුයි. (10 රූපය)

 

අවසානයේ කොටස් දෙකම කණපිට එකට සිටින සේ තබා භාග දෙපට පිරවිලි පේළියක් (Half Double crochet ) ගොතාගන්න. කොටස් දෙක සම්බන්ධ කර නූල් කපා, ගම් දමා ඔබේ බෑගය නිමා කරගන්න. (11 රූපය)

 

උපදෙස් - අත්කම් නිර්මාණ ශිල්පිනි

දේවින්දි ගුණතිලක

 

[email protected]

රූ රටා - නිලක්ෂි ආරියරත්න