බක්මහ හැඩකරන බතික්

අප්‍රේල් 7, 2025

අවුරුද්දේ වර්ණයන්ට අනුකූලව බතික්වලින් සැරසෙන්නට අපේක්ෂිත ඔබ වෙනුවෙන් නව්‍ය වූ බතික් ක්‍රමවේද උපයෝගී කරගෙන හැඩවෙන ආකාරයයි තරුණී නුග සෙවණ සුසංයෝගයෙන් අද දිග හැරෙනුයේ.

 

මෙවර අවුරුද්දේ වර්ණයන් වන තඹ වර්ණය, ශ්වේත වර්ණය, කොළ වර්ණය, රන් වර්ණය ආදි වර්ණයන්ගේ එකතුවකි. එහෙයින් අවුරුදු සමයට ගැළපෙන ලෙස බතික් කලාවේ ඇති ටයි ඇන්ඩ් ඩයි ක්‍රමවේදය, ජාවා බතික් ක්‍රමවේදය හා වැක්ස් බතික් ක්‍රමවේදය යන ක්‍රියාවන්ගේ එකතුවක් ලෙස මෙම නිර්මාණ සිදු කර ඇත්තේ.

 

නිර්මාණය සිදු කිරීමට ප්‍රථමයෙන්ම අවශ්‍ය රෙදි තෝරාගත යුතුය. එහිදී සරමට හා ලුංගි නිර්මාණයන් සඳහා කපු රෙදි භාවිත කළ හැකි අතර අඟල් 52 පළලින් යුතු කපු රෙදි යාර 02ක් භාවිත කර තිබේ.

 

බතික් නිර්මාණයන් සිදු කිරීමේදී වැදගත් අංගයක් වන්නේ මෝස්තරයක් තෝරා ගැනීමයි. මෙහිදී අවුරුදු කාලෙට උචිත ලෙස සිංහල සැරසිලි කලාවේ භාවිත සිංහ කැටයම් මෝස්තරයක් යොදා ගෙන ඇත.

 

තෝරාගත් මෝස්තරය ප්‍රථමයෙන්ම රෙද්දේ පිටපත් කර ගනිමු.

 

අවශ්‍ය අමුද්‍රව්‍ය

 

* රෙදි රැඳවීමට ලී රාමුවක්

* පැරපින් ඉටි

* මී ඉටි

* ඉටි රත් කිරීමට ළිපක් හා භාජනයක්

* ඉටි ගැල්වීමට පුනීලයක්,

ටුල් එක, කොටනයක් හා පින්සල්

 

මේ ආකාරයට මෝස්තරය ඇඳ ගත් රෙද්ද ලී රාමුවෙහි රඳවා මෝස්තරයේ ශ්වේත වර්ණ අවශ්‍ය තැන් ඉටි ද්‍රාවණයෙන් ගල්වා ගන්න.

 

ඩයි ක්‍රමවේදය

 

* රිඇක්ටිව් ඩයි

* සෝඩියම් සිල්කෝට්

* යූරියා

 

ඉටි ද්‍රාවණය ගල්වා ගත් මෝස්තරය ජාවා බතික් ක්‍රමවේදය ඔස්සේ වර්ණ පින්තාරු කර ගත හැකියි. එහිදී නිර්මාණයට අවශ්‍ය ඕනෑම වර්ණයක් රියැක්ටිව් ඩයි භාවිත කර තෝරාගත හැකි අතර එහිදී එක් වර්ණයක් සෑදීම සඳහා,

 

* එක් වර්ණයකින් රිඇක්ටිව් ඩයි ග්‍රෑම් 10ක්

* සෝඩියම් සිලිකෝට් මිලිලීටර් 50ක්

* යූරියා ග්‍රෑම් 5ක්

* දියකර ගැනීම සඳහා ජලය මිලිලීටර් 200ක්

 

මෙලෙස සාදා ගන්නා විවිධ වර්ණ පින්සලක් ආධාරයෙන් රෙද්දේ ගල්වා ගත හැකිය. පසුව ඩයි වියළීමට පැය 12ක් පමණ තබා නැවත මෝස්තරය ඉටි ද්‍රාවණයෙන් වසාගන්න. පසුබිම සඳහා රියැක්ටිව් ඩයි ක්‍රමවේදය අනුගමනය කිරීම හෝ රියැක්ටිව් ඩයි භාවිතයෙන් ටයි ඇන්්ඩ් ඩයි ක්‍රමවේදය භාවිත කරන්න. පසුව ඉටි ඉවත් කර රෙදි හොඳින් සෝදා වියළා මැසීමේ ක්‍රියාවලිය සිදු කළ හැකිය.

 

මේ ආකාරයෙන් අවුරුද්දේ වර්ණ භාවිත කර නවමු ආකාරයෙන් බතික් නිර්මාණයකින් හැඩවීමට ඔබට හැකි වේ.

 

 

උපදෙස් - ලක්මිණි සුභාෂිණී
බාහිර කථිකාචාර්ය,
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය

 

[email protected]