වර්ෂ 2025 ක්වූ May 05 වැනිදා Monday
පුංචි දෝණිට හැඩට

ඔබ පසුගිය සති කිහිපය තුළදී සිංහල අලුත් අවුරුද්දට අලුත් ඇඳුම් පැලඳුම් සොයා වෙඳෙපොළ පීරා යනවා ඇති. ඉතිං පුංචි දෝණිගෙ පුංචි පුතුගෙ හැඩ මවන්නත් වෙහෙසුණා නේද? රෙද්දයි හැට්ටයයි මසාගන්න ආකාරය දැන සිටියා නම් ලොකු මුදලක් ඉතිරි කර ගන්න තිබුණා නේද? ආදරණීය මවුවරුන්ගේ දැඩි ඉල්ලීම මත අද අපි මේ රෙද්දයි හැට්ටයයි මසා ගන්න ආකාරය මෙවර ලබා දෙන්නෙමු. නිතරම පෙර පාසල් උත්සව සඳහාත් මේ ඇඳුම අවශ්‍ය වෙනවානෙ. මෙය ඔබට මහන්න ඉගෙන ගන්න එකේ ලොකු වටිනාකමක් තිබේ.
ඉදිරි පළුව
මූලිකව ඉදිරි පළුව ඇඳගන්න. එනම් පපුව පළල හතරෙන් බෙදා ඉණත් හතරෙන් බෙදා අවශ්‍ය උස ඇඳගත් ඍජු කෝණාස්‍රයෙන් ඉදිරි මුදුනේ සිට කර පහළට අඟල් 2 1/2 සහ පැත්තට අඟල් 2ක් ගෙන කර ඇඳගන්න (AB) B සිට ඉදිරියට උරහිස ගන්න. එය C වේ. ඉණ EF වන අතර F සිට ඉහළට පැත්තේ මැස්ම ගෙන D යොදා කිහිලි කට DC හැඩකර කිහිලි කට මැන B වෙත යා කරගන්න. EF මැදගෙන අඟල් 1/2හැඩ මැස්ම ලෙසටත් අඟල් 3ක් උස ලෙසටත් ඇඳගන්න. C සිට අඟල් 1/4ක් B දෙසට ගෙන නැවත කිහිලි කට ඇඳගන්න. එහි කිහිලි කට ලකුණු කර උරහිස අඟල් 1 1/2ක් පමණ කර දෙසට ගන්න. එම කර ගැඹුර අවශ්‍ය ප්‍රමාණය ගෙන කර ඇඳගන්න. ඉදිරි පළුව නැම්මට තබා කපාගන්න.
පිට පළුව
ඉදිරිපස ආකාරයටම පිට පළුව පිටපත් කර ගන්න. A සිට අවශ්‍ය කර ගැඹුර පිට පළුවේ මැන හැට්ටය සඳහා ගත් උරහිසට යා කර ඇඳගන්න.
සාය
උකුල පළල දෙකට බෙදාගන්න. අවශ්‍ය උසට කොටු තුනක් එක පෙළට රූපයේ පෙනෙන ආකාරයට ඇඳගන්න. එය AB, CD, BDCF, EFGH ලෙස නම් කර ඇඳගන්න. GH සිට අඟල් 8ක් පමණ පිටතට ගෙන IJ යොදන්න. එය Pleat සඳහා වේ. ACහි හරි මැද B සිට පහළට අවශ්‍ය ෆ්‍රිල් එක ඇඳ වෙනම පිටපත් කර ගන්න. එය කොටස්වලට බෙදා තීරුවෙන්කර ඉණෙන් සහ වාටියෙන් අඟල් 1 බැගින් ඈත්කර අලවා ගන්න. රෙද්දේ හැඩ අතට තබා කපාගන්න.
අත
මූලික අත පිටපත් කර අවශ්‍ය උස ගෙන රූපයේ පෙනෙන ආකාරයට කොටස් කර ඇඳගන්න. තීරු වෙන්කර වෙනම කොළයකට ගෙන ඒ මත අඟල් 1/2 බැගින් ඈත් කර අලවා අලවා ගන්න. නැවත අතහැඩය ඇඳගන්න. රෙද්දේ හැඩ අතට තබා කපා ගන්න.
ඡායාරූප - ශාන් රඹුක්වැල්ල
ඇඳුම් නිර්මාණය - Handloom Gallery
කෝට්ටේ / බත්තරමුල්ල
උපදෙස්
ප්‍රවීණ මැහුම් උපදේශිකා
ෂර්මිලා රණවීර
රූ රටා - නිලක්ෂි ආරියරත්න