වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
ජනමාධ්‍යවේදියාගේ කාර්ය භාරයට අඩු ලංසුවක් ඇයි?
“සුහුරු කතක්-සොඳුරු ලොවක්” තේමාව කොට ගෙන නිමාවට පත්වූ ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උත්සව අතරට තරුණී අපිත් පුදුමාකාර තරමට කාර්යබහුල වුණා. ලංකාවේ අංක එකේ පුවත්පත ලෙස කාන්තා පුවත්පත් අතර ඉදිරියෙන්ම වැජඹෙමින් ‘පසන් නිවෙසට සිරියාව “ කැන්දන තරුණී ඔබ අතට පත්වන්නේ ජීවිතයට නව එළියක් දිනෙන් දින ඔබට ළඟා කරමිනි.
ඒ අභිමානය පනස් වසරක් පුරාවට අපි අත්වින්දෙමු. ජාත්‍යන්තර කාන්තා දින ප්‍රධාන උත්සවය අනුරාධපුර නගරයේ අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙද්දී දකුණු ලකේ කාන්තා අභිමානය සමඟ හිල්ඩා වික්‍රමබාහු පදනම මාර්තු 8 වැනිදා සමරන්නට යෙදුණු කාන්තා දින සැමරුමේ පූර්ණ මාධ්‍ය අනුග්‍රහය කවදත් ළෙන්ගතු ‘තරුණී’ පුවත්පතෙන් විය. එයින් ඇරුඹුණු ‘තරුණී’ අපි අතිශය කාර්යබහුල වූයේ තරුණී පුවත්පත හා මහජන බැංකුව එක්ව ඉදිරිපත් කළ උත්සවය සමඟිනි.
ඒ සියනෑ කෝරළයේ ගම්පහ පුරවරයේ පැවැති තරුණී වනිතා වාසනා එක් දින කාන්තා වැඩමුළුව සමඟිනි. උදෑසන 9.00 ට ආරම්භ වී සවස 4.30 ද ඉක්මවා දවස පුරා පැවැති මෙම වැඩමුළුව සම්බන්ධයෙන් ඊට සහභාගී වූ සැමට තිබුණේ ප්රශංසාත්මක හැඟීමකි. අතිශය කාර්යබහුල සෙනසුරාදා දිනයකදී තරුණී පාඨකයන් හට හරවත්, නැණවත් දේශන මාලාවක් සමඟ සතුට සමඟ ධනය උපයන්නට මඟ කියා දුන් ප්‍රායෝගික වැඩසටහන් පෙළකින් ද සමන්විත වූ මෙම වැඩමුළුවට සම්පත් දායකත්වයෙන් එක් වූ විශේෂඥ පිරිසට ස්තුති කරන්නට ද මෙය අවස්ථාවක් කරගනිමු. විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන, ප්‍රකට ඇන්තූරියම් උපදේශිකා යාමිකා ගුණවර්ධන, ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී චාමලී කල්දේරා, ගම්පහ රූපලාවණ්‍යවේදී සංගමයේ ප්‍රධානීන් වන සමන්ත ගුණසේකර, ජොනී ගුණසේකර ප්රමුඛ එම සංගමයේ ප්‍රවීණ ශිල්පීන්, මහාචාර්ය වසන්තා කුමුදිනී, වියළි මල් සැකසුම් කලාවේ ප්‍රථම ව්ඍQ ලාභී ධනංජය ෆ්ලෝරා අධිපති සමන් ජයලත්, අනේක බාධක මැද දිවිය ජයගත් සම්මානලාභී මෝස්තර නිර්මාණ ශිල්පිනී ආශ්චර්යා ජයකොඩිගේ ආදරණීය හඬත් මෙම වැඩමුළුව ඒකාලෝක කරන්නට සමත් විය. ගම්පහ රූපලාවණ්‍යවේදීන්ගේ සංගමය විසින් ඉදිරිපත් කළ සොඳුරු මනාලියන් දැක්මෙන් නිමාවට පත්වූ මෙදින වැඩමුළුව සාර්ථක කරගන්නට සියලු දෙනාම දැක්වූ දායකත්වය අපි බැතිබර සිතින් මෙනෙහි කරමු.
සැබැවින්ම මෙය එක් අතකට ජාතික කර්තව්‍යයක් ඉටු කිරීමක් බඳුය. මක් නිසාද කාන්තාව වූ කලි රටක ජීවනාලිය මෙන්ය. රටේ අනාගතය හදන පරපුරේ කොඳුනාරටිය වන්නේ අම්මාය. මේ අම්මාගේ ජීවිතයට හරවත්, නැණවත් යමක් තිළිණ කරන්නට එක්වූ ඔබ සැමට ප්‍රණාමය හිමිවන්නේ එබැවිනි.
මේ සඳහා අපට පූර්ණ අනුග්‍රහය ලබාදුන්නේ ජනතාවට කවදත් හිතවත් කාන්තාවන්ගේ අභිවෘද්ධිය ගැන නිරන්තරයෙන් සිතන ජාතියේ මහ බැංකුව වූ මහජන බැංකුවයි. මහජන බැංකුවේ මුලස්ථාන කාර්යාලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනී කුරුකුලසූරිය මහත්මිය ප්රමුඛ එම කාර්ය මණ්ඩලය දැක්වූ ඒ සුහද අතදීම අපි කෘතවේදීව සිහිපත් කරමු. එදින මහජන බැංකුව විසින් අරපිරිමැස්මේ අගය ඉස්මතු කරමින් ඉතිරි කිරීමේ වැදගත්කම පිළිබඳ කළ දේශනය හැරුණු විට බැංකු ණය ලබාගනිමින් ජීවිතය ජයගත් දිරිය ව්‍යවසායිකාවන්ගේ කතා ද මෙම වැඩසටහන අර්ථවත් කරන්නට හේතු විය.
තරුණී වනිතා වාසනා වැඩමුළුවෙන් අනතුරුව ඒ උණුසුම පහව යන්නටත් පෙර අප ගියේ ඇඹිලිපිටියටය. ඒ ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී දේවිකා අරඹගේ මෙහෙය වූ තවත් කාන්තා දින රූපලාවණ්‍ය වැඩමුළුවක් සඳහාය. සමහරු ශිල්පය ඉගැන්වීමේ මුවාවෙන් මුදල් සූරාකද්දී දේවිකා තම දැනුම බොහෝ විට ලබාදෙන්නේ නොමිලේය. එසේ නැතහොත් සුළු මුදලකට සීමා කරමිනි. එසේ සාධාරණව ශිල්ප දැනුම ගෝලයන්ට ලබාදෙන මේ ඇදුරුතුමියගේ ආරාධනාව අප බාර ගත්තේ ස්වයං රැකියාවක් ලෙස නැඟී සිටින්නට අපගේ දුවා දරුවන්ට දෙන මෙම වාරුව අතිශය උතුම් කර්තව්‍යයක් බව හොඳින්ම දන්නා නිසාය.
කොළඹින් බොහෝ දුරබැහැරට ගොස් මෙම වැඩමුළුවට පමණක් සහභාගී වී නැවත පැමිණීම වෙනුවට ඒ ප්‍රදේශය අවට ඇති ඇස නොගැටුණු විශේෂිත සහ සුන්දර ස්ථාන පිළිබඳ අප පාඨකයාට ගෙන ඒම මෙවැනි ගමන්වලදී අපගේ පුරුද්දකි. ඒ ගැන හොයා බලද්දී එදින වැඩමුළුව මෙහෙය වූ නිවේදිකා දුලාෂිගෙන් දැනගන්නට ලැබුණේ ඓතිහාසික වටිනාකමින් යුත් මඩුවන්වෙල වලව්ව ගැනයි. ඒ හා බැඳි පුරාවෘත්තය ඉතාම රසවත්ය. අඩි හතරකට වඩා උසින් වැඩිනොවූ මෙම වලව්වේ නිළමේතුමාගේ නිවෙසේ උළුවහු දොර ජනෙල්, තරප්පු ආදිය නිර්මාණය වී තිබුණේ උසින් අඩුව, ඔහුගේ උස ප්‍රමාණයට ගැළපෙන පරිදි වීම විශේෂිතය. රටේ තිබෙන එවැනි පුරා විද්‍යාත්මක වටිනාකමින් යුත් සුවිශේෂී ස්ථාන ගැන මහජනතාව දැනුවත් කිරීම මාධ්‍යවේදීන්ගේ යුතුකමක් ද වන බැවින් අපි එම ස්ථානය සොයා ගියෙමු.
ඇඹිලිපිටියේ සූරියකන්ද ග්‍රාමයට ආසන්නව මඩුවන්වෙල ගමේ අක්කර 84,000 කින් යුත් සුවිසල් ආකර්ෂණීය වටපිටාවක මෙම වලව්ව පිහිටා තිබුණි. දුටුවන් වශී කරවන, සිත් අමන්දානන්දයට පත්කරවන එම පරිසරය සැබැවින්ම චමත්කාරජනකය. දෙස් විදෙස් සංචාරකයන්ට, පරිසරවේදීන්ට, ගවේෂකයන්ට නරඹන්නට කදිම ස්ථානයක් වනු නොඅනුමානයි.
එවන් ඓතිහාසික වටිනාකමින් යුතු මඬුවන්වෙල වලව්වේ අතීත තොරතුරු ඡායාරූප සමඟින් ඔබට පෙළ ගැස්වීමේ අරමුණින් අප මඬුවන්වෙල වලව් භූමියට ඇතුළු වූයෙමු. එය පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට අයත් වූවක් බැවින් එය බලා කියා ගන්නට නිලධාරීන් ද විය. අප වලව්වට ඇතුළු වන විට “වලව්ව ඇතුළේ ඡායාරූප ගැනීම තහනම් බව නිලධාරීන් අපට කීවේය. එවිට අපි කවුරුන්ද යන්න ඔවුන්ට පැවසුවෙමු. එහෙත් ඔවුන්ගේ ප්‍රතිචාරයේ වෙනසක් වූයේ නැත.
“ඇතුළේ ෆොටෝ ගන්න ඕනේ නම් කොළඹින් අවසර අරගෙන එන්න”
එවිට මා ඔවුන්ගෙන් සම්බන්ධ විය යුතු කොළඹ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියකුගේ දුරකථන අංකයක් ඉල්ලා සිටියේ කොළඹ සිට නැවතත් මේ ප්‍රදේශයට ඒමේ ඇති අපහසුතාව නිසාය. එවිට ඔවුන් කියා සිටියේ ඔවුන් ළඟ නොමැති බවත් එය
කොළඹින්ම ඉල්ලාගත යුතු බවත්ය. අප කවුරුන්ද යන්න ඔවුන්ට අවබෝධ නොවූ බව වැටහුණු මම ජනමාධ්‍ය අමාත්‍යංශයෙන් මාධ්‍යවේදීන් සඳහා නිකුත් කොට ඇති හැඳුනුම්පත පෙන්වූයේ එවිට හෝ ඔවුන්ගෙන් අපගේ කාර්යය උදෙසා සහනයක් ලැබෙනු ඇතැයි විශ්වාසයෙනි. එහෙත් ඉන් ද ඵලක් නොවුණි. ඔවුන් අප තඹ සතයකට හෝ මායිම් කළ බවක් නොපෙනුණි. පෙර කියූ වචනයේ වෙනසක් ද නොවීය. මෙහි ඓතිහාසික වටිනාකම හා ස්වභාවය ගැන පහදා දෙමින් මඬුවන්වෙල වලව්වට සංචාරකයන් ආකර්ෂණය කරගැනීම ඔවුන්ට මොනයම් විදියේවත් අවශ්‍යතාවක් තිබෙනවා යැයි අපට නම් හැඟුණේ නැත. රාජ්‍ය නිලධාරීන්ගේ ස්වභාවය මෙසේ නමුත් පෞද්ගලික ස්ථානයක් ගැන ලියන්නට ගියේ නම් ඔවුන්ගේ සත්කාර පුදුම සහගතය. රාජ්‍ය හා පෞද්ගලික දෙකෙහි වෙනස එතැනය. නිකම් හිිටියත් පඩිය ලැබෙන නිසා රාජ්‍ය ආයතන බොහෝමයක නිලධාරීන්ට වැඩක් කිරීම වැඩක් නැත.
සැබැවින්ම මාධ්‍යවේදියා යනු කවරෙක්ද ? ඔහුට සමාජයේ තිබෙන තැන කොතැන ද? මෙය බොහෝ දෙනකු නොදනී. ප්රජාතන්ත්රවාදී සමාජයක් තුළ ජනතාවට වගකියන එක් පාර්ශවයක් වන්නේ මාධ්‍යවේදී භූමිකාවය.
එයින් පැහැදිලිවන්නේ මාධ්‍යවේදියා යනු සමාජයේ ඉහළ ස්ථරයක හිඳිමින් සමාජය ශෝධනය කිරීමෙහිලා මහඟු බලයක් ඇත්තකු ලෙසය. කාලයාගේ ඇවෑමෙන් අද වන විට නුසුදුස්සන් ද මාධ්‍යවේදීන් වීමේ අභාග්‍යසම්පන්න තත්ත්වය නිසාවෙන් මෙවැනි තත්ත්වයකට මාධ්‍යවේදියා පත්වීම ද හේතුවක් විය හැකියි. රාජ්‍ය ආයතනයකින් අප හට මාධ්‍ය හැඳුනුම්පතක් ලබාදී ඇත්තේ අපගේ රාජකාරිය පහසුවෙන් කරගන්නටය. එය නිකුත් කරන්නේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවෙන්ය. එහි සඳහන් වන්නේ මෙලෙසය.
“රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති මෙම හැඳුනුම්පත හිමි ජනමාධ්‍යවේදියා හෝ වේදිනියට සිය වෘත්තීය කටයුතු බාධාවකින් තොරව ඉටු කිරීමට සහයෝගය ලබාදෙන මෙන් ඉල්ලා සිටිමි.”
පවතින රජයේ ජනමාධ්‍ය අමාත්‍යංශයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් කරනු ලබන එවැනි ඉල්ලීමක් මාධ්‍ය හැඳුනුම්පතෙහි සඳහන් වන්නේ මාධ්‍යවේදියා වූකලි එතරම්ම සුවිශේෂී කෙනකු වන බැවිනි.
වඩා යහපත් සමාජයක් බිහිකිරීමෙහිලා විශාල වගකීමක් මාධ්‍යවේදියාගේ කරමත ඇත. මාධ්‍යවේදියා හුදෙක් මුදල් (ලාභය) අපේක්ෂාවෙන් මෙම කාර්යයන්හි නිරත නොවීම විශේෂයි. එබඳු සුවිශේෂී කාර්යභාරයක් සමාජය වෙත ඉටු කරනු ලබන මාධ්‍යවේදීන් හට ඔහුගේ කාර්යය නිවැරැදිව කාර්යක්ෂමව කරගැනීමට අවශ්‍ය විටකදී මහ ජනතාවගෙන් ද සහය ලබාදීම වැදගත් ය.
කෙසේ හෝ වේවා මඩුවන්වෙල වලව්වේ පුරාවිද්‍යා නිලධාරී මහත්වරු කොළඹ ප්‍රධාන කාර්යාලයට අමතා ඡායාරූප ලබාගැනීමට අවසර ලබාගෙන නැවත පැමිණෙන්නට කියුව ද එය අපට කළ නොහැක්කේ තවත් අමතර ප්‍රවාහන ගාස්තුවක් සමඟ කාලයක් නාස්ති කරන්නට අපට නොමැති බැවිනි. එබැවින් ඔවුන් අපට පැවැසූ පරිදි ඔවුන්ගේ නීති රෙගුලාසි අනුව අවට පරිසරයේ ඡායාරූප පමණක් රැගෙන පැමිණ ඔබට මෙම ස්ථානය පිළිබඳ තොරතුරු පළ කළේ සැබැවින්ම මෙම වලව්ව හා සබැඳි පුවත හා වටපිටාව ඉතාම ආකර්ෂණීය වන බැවිනි.