වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
මවුගුණ ගයන්න පමණක් නොව ඒ ගුණයට කෙළෙහිගුණ දක්වන්න
මේ ලෝකේ ආදරය ගැන සිතන විට ‘අම්මා’ ගෙන් තොරව වචනයක් ලියන්නවත්, සිතන්නටවත් බැරිය. වෙනස් නොවන ආදරයක් මේ මිහිමත ඇත්නම් ඒ මවගේ ආදරයම පමණයි කියන තරමටම එය සත්‍යයකි. කිසිවක් නොපතාම සෙනෙහස පාන්නියක් වේ නම් ඒ ඇයම පමණි.
දසමස කුස දරා අපව හැදුවත් මියෙන තුරාම අම්මාගේ සෙනෙහස වෙනස් නොවන්නීය. ඇගේ ජීවිතයම දරුවන්ය. ඇගේ ආත්මයම දරුවන් ය. ඇගේ සෙනෙහස සුවඳ දිදී හැමදාමත් දරුවන්ගේ ජීවිත ආලෝකමත් කරයි. පෙවූ කිරට මිලක් නියම නොකරන අම්මාගෙන්, ලේ කිරි වූ පසු උරාබිව් දරුවන් යම් යම් සරල හේතු මුවාවෙන් කුණු මාළු කෑල්ලක් සේ පැත්තකට විසිකර දමන අවදියක මවු සෙනෙහස ගැන මතක් කරන්නට සිතුණේ දින කිහිපයකට පෙර එනම් මැයි මාසයේ දෙවැනි ඉරු දින ලෝක මවුවරුන්ගේ දිනය යෙදෙන්නට වූ බැවිනි.
අප රටේ පසුගිය දිනවල පැවැති නොසන්සුන් බව නිසා බොහෝ දෙනෙකුට මෙවැනි දිනයක් තිබුණා ද යන්නවත් මතකයට නොඑන්නට ඇති.
ඊට තවත් එක් හේතුªවක් වූයේ අසිරිමත් වෙසක් දිනයත් ඊට නුදුරේම වූ බැවිනි.
දිනය අමතක වුවත් මවු සෙනෙහසින් සෑම දිනක්ම දරුවන්ට ඔවුන්ගේ සිත් පුරවා ගත හැකිනම්... මවුවරු සම්බන්ධයෙන් ඇසෙන්නට, දකින්නට තිබෙන බොහෝ අවාසනාවන්ත ඛේදවාචකයන් අසන්නට නොලැබේවි. අප ප්‍රාර්ථනා කරන්නේ එවන් ආත්මීය බැඳීමෙන් සවිමත් වූ මාපිය දාරක ස්නේහයකින් පිරි සමාජයකි. එවන් සමාජයක් ඇති කරන්නට ඔබ අපට බැරි ද නැත. එවිට මේ ලෝකය, සමාජය සැබැවින්ම සුන්දර වේවි. එහෙත් අවාසනාවට අද එවන් ලොවක් ඔබ අපට දකින්නට නැත.
බොහෝ දරුවන්ට ඔවුන්ගේ කාර්යබහුල ජීවිතය තුළ මවු අමතකව ගොස් ඇත. ඇය සිටින්නේ වැඩිහිටි නිවාසයක විය හැකිය. නැතිනම් කාත් කවුරුවත් නැති මහගෙදර බිත්ති හතරකට මැදිව මෙහෙකාරියක සමඟ විය හැකිය.
ඇගේ සැඳෑ සමය හුදෙකලාව සමඟ ගෙවෙනවා විය හැකිය.
ඔබේ මව මෙවන් ඛේදවාචකයට පත්ව ඇති නම් දරුවන් ලෙස ඇය ඉන් මුදවා ගැනීමට තරයේම සිතට ගත යුතුය. දරුවෝ පස් හය දෙනා සිටින පවුල්වල මවුවරු මෙවැනි හුදකලාවීම්වලට බහුලව බඳුන් වීම අතිශය කනගාටුදායකය. වියපත් වූ මවගේ වගකීම් එකිනෙකාට පවරමින් ඔවුහු ඈත් වෙති.
“අම්මා වැඩිපුර සැලකුවේ මල්ලීටය. වැඩිම දේපල ප්‍රමාණයක් පැවරුවේ පුතාලාටයි” කියමින් පවුලේ දූදරුවන් මවුවරුන්ගේ සිත් පාරමින් මහ වේදනාවක් ඔවුුනට උරුම කරමින් අහක බලති.
දෑතේ, හිතේ සවිය දරුවන්ගේ ජිවිත සැපවත් කරන්නට දියකර දැමූ මවගේ ජීවිතය කෙළවර වන්නේ මහමඟය. වැඩිහිටි නිවාසයකය. නැතිනම් බලු කූඩුවකය. ගබඩා කාමරයකය. මහ මන්දිරයක මුළුතැන් ගෙට යාබද කාමරයකය. එසේත් නොමැති නම් මෙහෙකාරියක සමඟ ඇයට වෙන්වූ කාමරයේය. උත්සව අවස්ථාවකදී නම් මහලු මවට හිමිවන්නේ කුස්සිය මුල්ලය. සමහර දරුවන් මහලු වියේ පසුවන මවට සලකන්නේ එලෙසය. මිතුරන් ඉදිරියට මව ගෙන එන්නට ලැජ්ජා සහගතය.
නමුත් දරුවනේ, ඔබ සිටින්නේ මෙවැනි මානසිකත්වයක නම් එයින් ඔබ වහා මිදිය යුතුය. ඔබගේ රැකවරණය ලබන වියපත් මව සිටින්නේ ඔබ නිවෙසේ නම් එම නිවෙසට ශ්‍රියා කාන්තාව නිරන්තරයෙන් ඇල්ම බැල්ම හෙලනු නොඅනුමානය. වියපත් මවට සලකන දුවා දරුවන්ට ජීවිතයේ හිනිපෙත්තටම නැඟ යන්නට ඉන් ලැබෙන්නේ නොමඳ ආශීර්වාදයකි.
මේ දිනවල රූපවාහිනියේ නිතර දකින්නට ලැබෙන වෙළෙඳ දැන්වීමක් මට මේ මොහොතේ සිහිපත් වෙයි. පුංචි දරුවකු වියපත් ඥාතියකුට බෙහෙත් රැගෙන යනවිට එම රෝගය දරුවාට බෝ විය හැකි බව වැඩිහිටියන් පවසයි. එවිට මේ පුංචි දරුවා පවසන්නේ “නැහැ නැන්දේ ඒ මාමාගෙන් අපට ලැබෙන්නේ ආශීර්වාදය කියලායි. බලන්න එය කොතරම් සත්‍යයක්ද? පුංචි දරුවන්ට වැටහෙන මේ සත්‍ය වැඩිමහලු
, තාන්න මාන්න දරණ, දැන උගත් දරුවන්ට නොතේරෙන්නේ මන්ද යන්න ප්‍රශ්නාර්ථයකි.
ඔබ කාර්යාලයට යන මවක් නම් ඔබේ දරුවන්ට යහ මඟ කියා දෙන්නට... යහපත් ඇවතුම් පැවැතුම් සාරධර්ම පුරුදු කරන්නට ඔබ නිරන්තරයෙන් ළඟ නොවන්නට පුළුවන්. ඔබ සිටින්නේ මවක සමඟ නම් ඔබට ඔබගේ මව දකුණු අතින් කෑම කෑමට හුරු කළාක් මෙන් පාරේ දකුණු පැත්තෙන් ගමන් කළයුතු බව කියා දුන්නා සේ ඔබේ දරුවන්ටත් “අම්මා” කියාදෙනු ඇත.
“අත්තම්මා”, නැත්නම් “ආච්චි අම්මා” ගේ ඇසුරේ හැදෙන වැඩෙන දරුවන්ට දිවා සුරැකුම් මධ්‍යස්ථාන අවශ්‍ය නොවේ. පුංචි පවුල රත්තරන් කීමේ විපාක අද අප හොඳින්ම අත් දකින්නකි. ආච්චි අම්මා පුංචි අම්මා ඇතුළු ඥාති සනුහරේ මැද හැදී වැඩුණු දරු පරපුර හා මීට දශක දෙක තුනක පටන් හැදෙන දරුවන්ගේ හැසිරීම් දකින විට ඔබට එය ප්‍රත්‍යක්ෂ වනු ඇත.
සංස්කෘතික වටිනාකම් අගනාකම් සහිත ජාතියක් ලෙස අපට මවුවත් බවේ ගුණ සුවඳ හොඳින්ම වැටහෙන බව ඇත්තකි. කෙදිනක හෝ අපගේ මවුපියන් ජිවිතයෙන් සමුගැනීම වැළැක්විය නොහැක්කකි. ඒ සනාතන දහම මේ පොළොව මත ඉපදුණු ඔබ අප සැමටම නියතය.
මවගේ ලේ කිරි බවට පත්වන්නේ උත්තරීතර මාතෘ සෙනෙහස ඔබට ඇති නිසාමය. ඔබ මොනවා කෙලෙස සිතුවත් මවු කෙරෙහි දරුවන්ට ඇති සෙනෙහස කිසි දිනෙක ඈත්වන්නක් නොවේ. ඒ ආදරය සදාකාලික වූවකි. මහා මන්දිරයේ.. දුගී පැලේ, වීදියේ මේ කොයි තැන සිටියත් මවුගේ සෙනෙහස දරුවාට එකමය.
තමාගේ මවගේ තරාතිරම නොබලා නොහිතා, උගත් නූගත් බව, රූපයේ ඇති ලස්සන අවලස්සන ගැන නොහිතා ඔබේ ආදරය, සැලකිල්ල, රැකවරණය ඇයට ඇවැසි මොහොතේ උපරිමයෙන් ළඟා කරවන්න. ඔබට ජීවිතය කියා දුන්න...නිවැරැදිව මඟ පාදා දුන් ඔබේ ආදරණීය මව වියපත් වූ දා ඔබ දැකීමෙන් .... ඔබගේ සැලකිලිවලින් මහත්සේ සතුටට පත්වේවි. ඔබේ ඒ අසිරිමත් සෙනෙහසින් මව උද්දාම වේවි . ඒ උදෙසා ඔබේ වාරුව ඇයට අවැසි මය.
අපට මේ සඳහා දිනයක් අවශ්‍ය නැත. ඔවුන් ජීවත්ව සිටින තුරු බිවූ කිරට ණය ගෙවන්නට නොව යහපත් පුරවැසියකු ලෙස මනුෂ්‍ය ජීවිතයක් ලබාදුන් පිනට කෘතගුණ සලකන්නට අපි සැමදා එකසිත් ඇතිව ආදරයෙන් බැඳී සිටිමු.
අපි අපේ අම්මාට ඇති තරම් ආදරය කරමු. මිය ගිය පසු ඇයට කරන දන්පින්කම්වලට වඩා ජීවතුන් අතර සිටින මව ආදරයෙන් රැකබලා ගැනීමෙන් ලැබිය හැකි නිරාමිස සතුට විඳින්නට ඔබ මොහොතක්වත් පමා නොකරන්න. ඒ සතුට හිමිකර ගැනීම හෝ අහිමිකර ගැනීම ඔබට බාරය.