වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
දිරිය කතුනි ඔබට අපෙන් සවියක්
ඔබට ජය!
අඩ සියවසක් තරුණී, විටෙක මවක් ලෙසත්, විටෙක ගුරුවරියක ලෙසත්, තවත් විටෙක වීරවරියක ලෙසත් මෙරට පරම්පරා කිහිපයකට මාවත කියා දුන්නාය. සුලුපටු නොවන මහා මෙහෙවරක යෙදෙමින් තරුණී ජාතියට ප්රශස්ත ඉරණම් කතාවක් එකතු කිරිමේ අඩ සියවසක කාර්යභාරයට කෘතවේදී සුබ පැතුම් සමඟ තවත් සියවසක කාලයක් මේ මෙහෙවර ඉටුකරන්නට සුබ පැතුම්
ලේක්හවුස් වත්මන් සභාපති
ක්‍රිශාන්ත කුරේ
----------------
මිනිසා සඳ මත පා තබා හරියටම වසර 50 ක් ගෙවී තිබේ. 1969 ජූලි 20 වැනිදා ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 10.56 ට නීල් ආම්ස්ට්‍රෝන් සිය සගයන් වන මයිකල් කොලින්ස්, එඩ්වින් ඕල්ඩ්රින් සමඟ ඇපලෝ ඪඪ යානයෙන් සඳ මතට ගොඩ බැස මානව වංශ කතාවේ සුවිශේෂී පෙරළියක ආරම්භය සනිටුහන් කළේය.
සමස්ත මානව වර්ගයාටම සුවිශේෂී වූ මේ සිදුවීම එදා ලොවට හෙළිකළේ එම දශකය විවිධ ක්ෂේත්රවල පෙරළිකාර නව නිර්මාණාත්මක බොහෝ දේ තිළිණ කරමින් ලොවේ ගමන් මඟ වඩාත් දියුණුවට පත්කරවන බවට ඉඟි පළකරමිනි.
එම වසර අපට වැදගත් වන්නේ සඳ ගමනට දින කිහිපයකට පෙර එනම් 1969 ජූලි 09 වැනිදා ශී‍්‍ර ලාංකේය කාන්තා පරපුරේ දැනුම හා ආකල්ප දියුණු කිරීමේ පරමාර්ථයෙන් ‘තරුණී’ කාන්තා පුවත්පත බිහිකිරීමයි.
සඳ ගමන පිළිබඳව කතාකරමින් මේ සටහන ආරම්භ කිරීමට සිතුවේ එය විද්‍යාවේ දියුණුවේ අග්‍රඵලය බවට තවමත් අප විශ්වාසස කරන නිසාය. විද්‍යාවේ එම දියුණුව ලෝක ජන ජීවිතයේ සුවිශේෂී වෙනස්කම් ඇතිවීමේ ඇරැඹුමක් ලෙස සැලකිය හැකි නිසාය.
ලෝකයේ මෙම වෙනස්කම්වලට අනුව අපේ ජන සමාජය ද වෙනසකට බඳුන් වෙමින් තිබූණි. එ නිසා එම වෙනසට අර්ථයක් දෙන්නට තරුණී පුවත්පත බිහිකරන්නට එදවස සභාපති වූ රන්ජිත් විජයවර්ධන මැතිතුමා ඇතුළු ලේක්හවුස් පාලනාධිකාරිය සිතන්නට ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස හික්කඩුවේ ශ්‍රී ලාල් ලියනගේ මැතිතුමාගේ සංස්කරණයෙන් තරුණී පුවත්පත බිහිවිය.
මීට දශක 5කට පෙර අපේ ජන සමාජයේ කුඩාම ඒකකය වූයේ ‘පවුල’ය. එය විසාරී නැතිනම් ‘විස්කෘත’ පවුලක් ලෙස පැවතිණි. එදා පවුලක සිටි සාමාජික සංඛ්‍යාව ද ගණනින් බොහෝය. ප්‍රධාන ගෘහය වූයේ මහගෙදරය. එහි මූලිකයා වූයේ සැමියාය. ඔහු කුඹුරේ වෙහෙස වෙමින් ගොවිතැන් කරමින් පවුලේ පෝෂණය වෙනුවෙන් කැපවෙද්දී බිරිය එයට උපරිමයෙන් දායකත්වය දුන්නාය. එසේ ගෙනෙන වී ටික වේළා ගෙයි තැන්පත් කළාය. දරුවන් බොහෝ ගණනක් සිටි නිසා ඔවුනගේ පෝෂණය වෙනුවෙන් ඒවා අරපරෙස්සමින් වැය කළාය. වැඩිහිටි මව, පියා මෙන්ම සැමියාගේ සොහොයුරු, සොයුරියන් ද බොහෝවිට පදිංචිව සිටියේ මේ ‘මහගෙදර’ නිසා ඔවුන් සමඟ ද සමගියෙන් කටයුතු කළාය.
අතීතයේ සිට සාම්ප්‍රදායිකව පැවැතගෙන ආ පැදුරු විවීම, ඇඳුම් මැසීම වැනි අත් කර්මාන්ත මැනවින් ප්‍රගුණ කර දීගෙක ආ ඇය එම දැනුමින් තම පවුලේ බොහෝ අවශ්‍යතා ඉටු කළාය.
එදා ‘තරුණී’ පුවත්පත මඟ කියාදුන්නේ ඒ හැකියාවෙන් පිරිපුන් දිරිය කාන්තාවටය. ඇගේ නිර්මාණශීලී බව ඔප් නංවා නව ලෝකය සමඟ අත්වැල් බැඳගන්නට තරුණී පාලමක් වූවාය.
පිටු 28 කින් සමන්විතව නිකුත් වූ මෙම තරුණී පුවත්පතේ මුල් පිටුවත්, පසු පිටුවත් ඇතුළුව තෝරාගත් ලිපි කිහිපයක් සුවිශේෂී තිළිණයක් ලෙස ලබාදෙන්නට අප තීරණය කළේ එදා මේ රටේ කාන්තාවගේ ඒ භූමිකාවට තරුණී කොතරම් බලපෑම් කළා ද යන්න පෙන්වීමටය.
එදා මෙදා තුර ගෙවීගිය දශක 5 තුළ ලෝකය සිතාගත නොහැකි අන්දමේ විශාල පරිවර්තනයකට ලක්වී තිබේ. විද්‍යාවේ දියුණුව නිසා පරිගණකය බිහිවී ඒ නිසාම සෑම ක්ෂේත්රයක්ම වෙනසකට ලක්වී තිබේ.
ඒ සමඟම එදා විසාරීව සාමාජික සංඛ්‍යාව වැඩියෙන් සිටි අපේ පවුල් ඒකකය අද සැමියා, බිරිය දරුවන් එක්කෙනෙක් හෝ දෙදෙනෙක් සිටින න්‍යෂ්ටික පවුලක් බවට පත්ව තිබේ.
මේ සියල්ලටම වඩා එදා ගෘහණියක ලෙස සැමියා උපයන දෙය අරපරෙස්සමින් වියපැහැදම් කර, පවුලේ පෝෂණය කරට ගෙන කටයුතු කළ කාන්තාව අද පවුලේ ආර්ථික බර ද කරට ගෙන කටයුතු කරන්නියක වී සිටීමය.
ඒ නිසා එදා සිටි ගෘහණියට සාපේක්ෂව අද ගෘහණිය කාර්යබහුලය. සැමියා මෙන්ම හරි හරියට වෙහෙස වෙමින් කටයුතු කරන්නීය.
එහෙත් පවුලක බිරියක ලෙස, මවක ලෙස ඇයට ඇති වගකීම් සමූදාය එසේමය.
එදා මෙදා තුර අපේ රටේ කාන්තාව තුළ ඇතිවුණු මේ වෙනස සමඟ හැමදාම ‘තරුණී’ සිටි බව සනාථ වන්නේ ලැබෙන අසීමිත ප්රතිචාරවලිනි. තරුණී තුළින් දැනුම ලබා මැහුමින්, ගෙතුමින් අත්කම් නිර්මාණවලින් තම පවුලේ ආර්ථිකය සවිමත් කරගත් බොහෝ කාන්තාවන් දිනපතාම පාහේ අපව අමතයි.
පවුලක ඇති අසීමිත ගැටලු හමුවේ ඊට මුහුණ දෙන්නට ආර්ථිකය සවිමත් කරගන්නට මං සොයන ගෘහණියන් ද බොහෝය.
මේ නිසාම පනස් විය සපුරන මේ ඓතිහාසික මොහොතේ අප එවැනි නිර්මාණශීලී කාන්තාවනට ශක්තිමත් වෙමින් පවුලේ ආර්ථිකයට සවියක් වන්නට අත්වැලක් වන්නට සිතුවෙමු.
ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ කුඩා ව්‍යාපාර අංශය සමඟ එක්ව ‘දිරියට සවියක්’ විශේෂාංගය ඇරැඹුවේ ඒ නිසාය. එයට ලැබෙන අසීමිත ප්‍රතිචාර හමුවේ අප මේ රටේ සුවිශේෂී ආර්ථික පෙරළියක් කරන්නට, තරුණී පාඨක නිර්මාණශීලී දිරිය කාන්තා ඔබට මඟ පෙන්වීමට පෙරමුණ ගන්නෙමු.
වසර 50 ක් ගෙවුණු මේ දශකයේ පරිගණකය සමඟ පෙරළි කරන කාන්තාව සමඟ නව ගමනක් යන්නට අප සූදානමින් සිටින්නෙමු. පවුලේ ආර්ථිකයට සවියක්, අත්වැලක් වන්නට සිහින මවන ඔබට මෙන්ම නව යොවුන් වියේ පසුවන යුවතියන්ට ද තරුණී සමඟ අත්වැල් බැඳගන්නට ආරාධනා කරන්නෙමු.