වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
මගේ ලොකුම බලාපොරොත්තුව මේ රටේ සියලුම පුරන් කුඹුරු අස්වද්දන එක
සකුන්තලා මාලදෙනිය
මේ දවස්වල ඇද හැලෙන වර්ෂාවත් එක්ක වැව්, ගංගා, ජලාශ පිරී ඉතිරිලා ගිහින්. ඒ නිසා කෘෂිකර්මාන්තයට ඉතාම සුදුසු පරිසරයක් නිර්මාණය වෙලා. රජරට වැව් බැඳි රාජ්‍යයටත් හොඳ කලක්.
ඉතින් ගොවිතැනට හිතකර පරිසරයක් නිර්මාණය වෙලා තියෙන නිසාම අපේ ජනපතිතුමාගෙනුත් කෘෂි නිෂ්පාදන ඉහළ නංවන්න ජනතාවට සුවිශේෂී ඇරැයුමක් ලැබුණා.
අපේ රටේ සම්පත් සුරකිමින් ආහාර නිෂ්පාදනයට දායකවෙමින් විදේශ විනිමය ද රැකගන්න මෙය හොඳ අවස්ථාවක්. ඒ නිසා පසුගිය කාලයේ විදේශ රටවල්වලින් සහල් ආනයනය කරපු අපිට දැන් අපේම සහලින් ස්වයංපෝෂිත විය හැකියි.
ඒත් එක්කම මෑතකදී සමාජ මාධ්‍ය ජාලා තුළ ද පුරන් කුඹුරු අස්වද්දන තාරුණ්‍ය රැල්ලක් මතුවෙලා. ඒ තරුණ කැල අතර එක් සුවිශේෂී තරුණ ගෙවිලියක් ද සිටිනවා.
අපේ රටේ බොහෛී අයට අමතක වෙලා ගියපු වගකීම් ගොන්නක් බලෙන්ම වගේ තම හිස මත පටවගෙන ඇය කටයුතු කරන්නේ කාන්තාවන්ට කළ නොහැකි දෙයක් නැතැයි යන්න ලෝකයට පෙන්වමිනි. ඇය සකුන්තලා මාලදෙනිය.
පාරම්පරික ගොවියන් ද ගොවිතැනින් ඈත්ව යමින් සිටින පසුබිමක ඇය තනිවම කුඹුරු යායක් අස්වැද්දුවාය. ගොවිතැන ජීවිතයම කරගත් ඇය අසරණ වූ සුනඛයන් හා ගවයන් වෙනුවෙන් ද කැපවී ඔවුන්ව රැක බලා ගන්නේ මවක ලෙසිනි.
තවමත් 22 වියේ පසුවන ඇය දක්ෂ රංගන ශිල්පිනියක් ද වේ. එහෙත් රංගනය පසෙකලා ගොවිතැන තෝරාගත් සකුන්තලා අද මුළු මහත් සමාජයටම ආදර්ශවත් චරිතයකි.
ඒ නිසාම ඒ අපුරු ගෙවිලිය සොයාගෙන අපි මීරිගම කහඳව ප්‍රදේශයට ගියෙමු. දුටුවන්ගේ නෙත් වසඟ කරන සොඳුරු පරිසරයක පිහිටි නිලට නිලේ දිලෙන අස්වැද්දවූ කුඹුරු යාය සැබැවින්ම මනරම්ය. කුඹුර සිසාරා බැලූවිට ඇය කුඹුරේ ඈත කෙළවරක පැළ සිටුවමින් සිටියාය. ඈත තියා අපව දුටු නිසාම, ඇය හනික නියර දිගේ පැමිණ කුඹුකේ ළිඳෙන් මඩ සෝදාගෙන අප වෙත ආවේ සිනාමුසු මුහුණිනි.
“මාව හොයන්න නම් කුඹුරටම එන්න ඕනේ. දවසේ වැඩි හරියක් ඉන්නේ කුඹුරේ තමයි” එසේ පැවසූ ඇය අප සමඟ කුඹුක් ගස් සෙවණේ වාඩි වී කතා බහට එකතු වුණා.
ඇයි මේ වගේ දෙයක් කරන්න හිතුවේ ?
ඒ ප්ර්රශ්නය ගොඩ දෙනෙක් මගෙන් අහනවා. තරුණියක් කුඹුරක් කරනවා කියන එක ටිකක් අමුතු දෙයක් විදිහටයි ගොඩක් අය දකින්නේ.
ඒ කාලේ කාන්තාවෝ තමයි වැඩි හරියක් කුඹුරු වැඩ කළේ. ඒ නිසා ඒ කාලේ මිනිස්සු කාටවත් ණය නැතුව තමන්ගේ සහල්වලින් රැකුණා. තාමත් ඒ කුඹුරු ටික අපි රැකගත්තා නම් අපේ රට ඇත්තටම ස්වයංපෝෂිතයි. පාරම්පරික ගොවියන් පවා තමන්ගේ කුඹුරු අතහැරලා, පුරන් වෙන්න ඇරලා. මට හරි දුකක් දැනෙන්නේ පුරන් කුඹුරු දකිද්දී.
ලංකාවේ පුරන් කුඹුරු ටික අස්වැද්දුවනම් පිටරටින් සහල් ගෙන්වන්න ඕනේ නැහැ. මේක මගේ රට. මට ඕනේ උපන් බිමට ණයකාරයෙක් නොවී මැරෙන්න. මේ සොබාදහමට කවදාහරි මාව පස්වෙනදාට අපි මහ පොළොවට බරක් වෙන්න හොඳ නෑ. මට හිතුණා මේ පුරන් වෙලා තියෙන කුඹුරුවලින් එකක් හරි කරන්න ඕනේ කියලා. එතකොටවත් මිනිස්සුන්ගේ ආකල්පමය වෙනසක් ඇති වෙනවනේ.
දැන් කාලේ ඉන්න තරුණ තරුණියන් අතරින් වැඩි දෙනෙක් කැමැති ඒසී කාමරවල සැප පහසුවට රැකියාව කරන්න. ඔබ එවැනි රැකියාවක් කරන්න හිතුණේ නැද්ද?
මම නම් කියන්නේ ටයි, කෝට්, සාරි ඇඳලා එක තැනකට කොටුවෙලා ඉන්නවට වඩා ගොවිතැන හරිම නිදහස් කියලයි. කාටවත් කරදරයක් නැතුව කාටවත් යටත් වෙන්නේ නැතුව ස්වාධීනව කටයුතු කරන්න නම් ගොවිතැන තමයි සුදුසුම රැකියාව. මේක රැකියාවක් නෙවෙයි. මේක මගේ ජීවිතේ. කුඹුරයි මමයි කියන්නේ දෙන්නෙක් නෙවෙයි එක්කෙනෙක්..
ගොවිතැන කියන්නේ පහසුවෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ගොවිතැනෙත් ඉගෙනගන්න සෑහෙන දේවල් තියෙනවා.
ඔබ පාරම්පරික ගෙවිලියක් ද? නැත්නම් පසුව ගොවිතැන ගැන හදාරා ගොවිතැනට යොමු වුණා ද?
අපේ අම්මලා තාත්තලා නම් ගොවිතැන් කරලා නැහැ. ඒ නිසා ගොවිතැන් ගැන එයාලට ලොකු අවබෝධයක් නැහැ. සීයා නම් ගොවිතැන් කරලා තියෙනවා.
ඡායා - ශාන් රූපස්සර