පුබුදු එක්ක ගත කරන තත්ත්පරයත් මට මුළු ලෝකයක් වගේ

පුබුදු ගැන මාෂි කියන කතාව
දෙසැම්බර් 5, 2022

පුබුදුගෙ තියෙන්නෙ රඟපාන ජීවිතේ නෙවෙයි

 

එයයි මමයි

 

පුබුදු චතුරංග කියන්නෙ 'හිරිපොද වැස්ස' හරහා මෙරට සිනමාවට තිළිණ වූ ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියෙකි. රංගන කෞශල්‍යයට අමතරව නර්තන හැකියාවෙන්, අධ්‍යක්ෂණයෙන්, තිර පිටපත් රචනයෙන් ඔහු සිය කුසලතාවන් හරි අපූරුවට විදහා පාන්නෙකි.

 

නව පරපුරේ තරුණ පිරිස අතරේ මෙන්ම වැඩිහිටි පරම්පරාව තුළ ද අතිශය ජනාදරයට පාත්‍ර වූ පුබුදු මේ වන විට ආදරණීය සැමියෙකි. ඔහුගේ සෙනෙහසේ විජිතයේ කිරුළ පලන් රැජින මාෂි සිරිවර්ධනය.

 

ඉතින් ප්‍රේමණීය කැදැල්ලක සෙනෙහෙබර පතිනියක වූ මාෂි සිය ආදරණීය සැමියා ගැන කතාබහකට මෙලෙස අප හා එක් වූවාය.

 

අපේ රටේ තරුණ පිරිස අතර අතිශයින් ජනප්‍රියත්වයක් හිමි කරගත් පුබුදු වාගේ කෙනෙක් ඔබේ සැමියා විදිහට තෝරා ගැනීමට හේතුව කුමක්ද?

"ඇත්තටම කියනවා නම් මම පුබුදු කියන නළුවාට නෙමෙයි එයාගේ අපූරුම ගතිගුණවලටයි ආකර්ෂණය වුණේ. රංගන කාර්යයේදී ඔහු මොනතරම් චරිත රඟපෑවත් සැබෑ ජීවිතයේ දී ඊට හාත්පසින්ම වෙනස් චරිතයක්. හරිම ආදරණීයයි. පවුලට හරිම ළෙන්ගතුයි. මට, එයාගේ පවුලේ අයට වාගේම අපේ පවුලේ අයටත් පුදුමාකාර විදිහට ආදරය කරනවා. මම හිතන්නෙ ඒක තමයි මම එයාට කැමැති වුණු අනෙක් ප්‍රධානම හේතුව."

 

පුබුදු කියන්නෙ කාර්යබහුල, රංගන ශිල්පියෙක්. ඉතින් නිවෙසේ වැඩවලට ඔහුගෙන් ලැබෙන දායකත්වය කොහොමද?

"ගෙදර වැඩවලදී නම් එයාගෙන් පුදුම සහයෝගයක් ලැබෙන්නෙ. අපි දෙන්නම එකතු වෙලා තමයි හැමදේම කරගන්නෙ. හදිස්සියේ හරි මම ගෙදර නැති වුණොත් එයා මාව පුදුම කරන්න එක එක විදිහට කෑම වර්ග හදනවා. ඒ විතරක් නෙවෙයි ඒවා හරිම ලස්සනට පිළිගන්වනවා. ආදරෙන් හදන නිසා වෙන්න ඇති ඇත්තටම ඒ කෑම පුදුම රසක්."

 

මාෂි කියන්නෙ හරිම ලස්සන යුවතියක්. පුබුදු කියන්නෙත් කඩවසම් පුද්ගලයෙක්. ඔබ දෙදෙනාගේ සොඳුරු පෙනුම රැකගන්න යම් යම් දේ කරනවා ඇති.

"ඇත්තටම රූපය ගැන හිතලා බාහිර ආලේපන වාගේ දේවල් අපි භාවිත කරන්නෙ නෑ. හැබැයි කෑම බීම, ව්‍යායාම ගැන හොඳ අවධානයක් යොමු කරනවා. විශේෂයෙන්ම පෝෂණීය දේවල් ආහාරයට එකතු කරගන්න මම හරිම කැමැතියි. නීරෝගිකම ගැන අපි දෙන්නම හිතනවා විතරක් නෙමෙයි අනෙක් අයත් ඒකට උනන්දු කරවනවා."

 

මාෂි - පුබුදු කියන්නෙ ලස්සනට අඳින පලඳින යුවළක්. විලාසිතා ගැන වැඩියෙන්ම උනන්දු කවුද?

"පුබුදු කියන්නෙ උපරිමයෙන් සරල විලාසිතාවලට කැමැති කෙනෙක්. හැබැයි මම තමා විලාසිතා ගැන එයාව උනන්දු කරන්නෙ. සාමාන්‍යයෙන් උත්සවයකට වාගේ සහභාගී වෙනවා නම් එයා මුලින්ම මගෙන් අහනවා ඔයා මොනවද අඳින්නෙ කියලා. ඊට පස්සෙ මගේ ඇඳුමට ගැළපෙන්න එයා ඇඳුමක් තෝරා ගන්නවා. එහිදී මට තමයි එයා මූලිකත්වය දෙන්නෙ. කොහොමටත් ඉතින් ගෙදර වැඩවලදි වුණත් මගේ කැමැත්ත තමයි එයා මුලින්ම විමසන්නෙ."

 

සාමාන්‍යයෙන් නිදහස් වෙලාවට ඔයාලගේ කාලය ගත වෙන්නෙ කොහොමද?

"නිදහසේ ගෙදරට වෙලා කාලය ගත කරන්න අපි දෙන්නම හරිම කැමැතියි. ඒ වෙලාවට හොඳ චිත්‍රපටි නරඹනවා. විශේෂයෙන්ම අපි හරියට පොත් කියනවා. පුබුදු කියන්නෙ නිතරම එයාගේ දැනුම අලුත් කරගන්න කැමැති කෙනෙක්. ඉතින් ෆෝන් එකේ හිටියත් යූ ටියුබ් එක, අන්තර්ජාලය හරහා දැනුමට යමක් එකතු කරගන්නයි එයා කැමැති. ඒවා මටත් පෙන්වනවා. මම නම් ඉස්සර පොතපත කියවන්න එතරම් උනන්දු නෑ. නමුත් පුබුදු නිසා මාත් ඒකට හුරුවුණා. දැන් ඉතින් මනස සැහැල්ලු කරගන්න අපි දෙන්නම පොත් කියවනවා."

 

ඉතින් පුබුදු එක්ක ගත කරන ජීවිතේ ගැන ඔයාට දැනෙන්නෙ කොහොමද?

"පුබුදු එක්ක ගත කරන හැම තත්ත්පරයක්ම මට නම් මුළු ලෝකයක් වගේ. මගේ මුළු ජීවිතේම එයා. අපි විවාහ වෙලා අවුරුදු පහක් ගත වුණා කියලා දැනුනෙවත් නෑ. දවසින් දවස මේ ආදරය අලුත් වෙනවා. ඇත්තටම අපේ ආදරය දවසින් දවස අලුත් වෙන්න කියලයි මමත් හැමදාමත් ප්‍රාර්ථනා කරන්නෙ. මම පුබුදුගේ ගතිගුණ, හැසිරීම් මේ හැමදේටම ලකුණු දෙනවා නම් 10ට 15ක් වාගේ දෙන්න වෙනවා. ලකුණු අඩු කරන්න දෙයක් ඇත්තෙම නෑ වගේ. එයාගේ ඉවසීම උපරිමයි. පොඩි වැරැද්දකට වුණත් ඉක්මනින් සමාව ඉල්ලනවා. ඉතින් චූටිම කාලයක්වත් අපි දෙන්නට තරහ වෙලා ඉන්න බැහැ. මගේ ජීවිත අවබෝධයට වඩා එයාගේ ජීවිත අවබෝධය හරිම වැඩියි. ආදරය, රැකවරණය, ආරක්ෂාව මේ හැමදේම උපරිමයෙන් මට හිමි වෙනවා. ඉතින් මගේ හැමදේම එයා තමයි. මේ වාගේ හොඳ පුතෙක් හදලා දුන්නට මම හැමදාමත් එයාගේ මවුපියන්ට පින් දෙනවා.

 

 

ඡායාරූපය - රවිමල් විදුරංග