වර්ෂ 2025 ක්වූ June 30 වැනිදා Monday
ඔබ, ඔබ කවුදැයි මුලින් හඳුනාගන්න

ප්‍රවීණ සංගීතවේදී ආර්. ඒ. චන්ද්‍රසේනයන්ගේ කුළුඳුල් දියණිය වී ඉපදුණු ඇය තිලංගනී හේරත් බවට පත්වන්නේ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ඉහළම තලයක් හෙබ වූ කැෂියන් හේරත් සමඟ විවාහ වීමෙනි. අද දවසේ මෙරට ජනප්‍රිය ව්‍යාපාර ජාලයක විධායක අධ්යක්ෂ තනතුරක් හොබවන ඇයට ෆෙං - ෂූයි විද්‍යාව පිළිබඳ ඇත්තේ හසල දැනුමකි. දැනුම් සාපිපාසාවෙන් ලොව ප්‍රවීණයන් සොයා ගොස් මනා ඉගෙනුමක් ලබනා තිලංගනී Feng shui, Bazi, Qi - Men යන ක්ෂේත්‍ර සම්බන්ධ ප්රවීණතම උපදේශකවරියකි.
සිය ජීවිත අත්දැකීම් සහ තමා හොඳින් හැදැරූ ෆෙංෂුයි විද්‍යාවත් එකතු කරමින් අැය ලියූ හරි අපුරු කෘතියකි ‘මගේ පුත්තු හොරු අරං’. මේ ඒ පිළිබඳ කෙටි කතාබහකි.
‘මගේ පුත්තු හොරු අරං‘ මේ නම ඇසෙන දකින ඕනෑම කෙනකුගේ සිතට එකවරම දැනෙන්නේ ‘ෂා... එය හරි අපුුරු නමක්‘ යනුවෙන්. ලේඛිකාවක ලෙසින් අපේ රටේ කාන්තාවන් වෙත ඔබට කියන්නට ඇත්තේ ද එවනි අපුරු කතාවක්. ඉතින් අපි හඬ අවදි කරමු.
‘මම මේ පොත ලියා තිබෙන්නේ කොටස් දෙකකට. ඒ කියන්නෙ මෙහි මුල් අදියරෙන් මා කතා කරන්නෙ අපි කවුරුත් ප්‍රසිද්ධියේ කතා නොකරන, නමුත් බොහොමයක් මවුවරුන්ගේ සිත්සතන් හි දැවෙන ගින්නක් පිළිබඳයි. අපි ජීවත්වෙනවා යැයි සිතාගෙන සිටින මේ මනඃකල්පිත ලෝකයේ රඟන චරිත, කොයි කා අතිනුත් සිදුවන අඩු ලුහුඬුකම්, හොඳ නරක සමනය කරගන්නට නම් මුලින්ම තමා දෙසම බැලිය යුතු බව මගේ හැඟීමයි. මෙතැන දී මට සිග්මන් ප්‍රොයිඩ්ගේ වටිනා කියමනක් මතකයට නැඟෙනවා. “ඔබ සමඟ සසැඳිය යුතු එකම පුද්ගලයා වන්නේ අතීතයේ සිටි ඔබමයි.“
මෙහි දෙවැනි කොටසින් මා බලාපොරොත්තු වන්නේ අතීත කර්ම ශක්තීන් අනුව විඥානයේ මායාවට හසු වී ඇති අපි සියලුදෙනා, උපන් මොහොතේදීම අපට රඟපෑමට හිමිවන චරිත ස්වභාවයේ හොඳ නරක පැහැදිලි කිරීමටයි. ඒ අනුව 2005 වසරේ පටන් මා උගත් චීන පාරභෞතික විද්‍යාව (Chinese Metaphysics) මඟින් දළ වශයෙන් හෝ කාන්තාවකගේ ගතිගුණ සොයා ගන්නා අන්දම මෙහි සඳහන්.
මට දැනෙන, හැඟෙන ආකාරයට නම් මේ උත්සාහ දරා ඇත්තේ ජීවිතය තුළ ඔබ ලැබූ අත්දැකීම් ඇසුරෙන් විවාහ දිවියට ඇතුළු වන තරුණ දියණියන් උදෙසා යම් මඟ පෙන්වීමක් ලබාදීමටයි.
“අනුන්ගෙන් අසා දැනගත් කතාවක් කියනවාට වඩා තමන්ගේ ජීවිතයේ විඳි අත්දැකීම් ඇසුරෙන් තවකෙකුට ජීවිත අවබෝධය ලබාදීම පහසුයි. ඒ වගේම එය සාර්ථකයි. යෞවන කාලයේ මා දුටු ජීවිතයට වඩා අද දවසේ ජීවිතය දකින, විඳින ආකාරය හරිම වෙනස්. මොකද අපේ ජිවිත කාලය තුළ ලබන අත්දැකීම් එකිනෙකාට වෙනස්. මෙලෙස ලබාගන්නා එකිනෙකට වෙනස් අත්දැකීම් නිසාම සාර්ථක කරගත් ජීවිතයක් තමයි මට තියෙන්නෙත්.
ඉතින් ඒ අත්දැකීම් තවකෙකුගේ සාර්ථකත්වය වෙනුවෙන් කියාදෙන්නයි මම මේ උත්සාහ දරන්නේ. ඒ නිසා මම කියනවා ඔබ, ඔබ කවුදැයි මේ පොත හරහා මුලින්ම හඳුනාගන්න.
ඒ වාගේම තමන්ගේ සැබෑ ස්වරූපය හරියාකාරව හඳුනා නොගෙන තව කාන්තාවකගේ හොඳ නරක සොයන්නට නම් මේ පොත පාවිච්චි කරන්න එපා කියලත් මම ඔබගෙන් ඉල්ලා සිටිනවා.“
මේ කෘතියට ‘මගේ පුත්තු හොරු අරං‘ කියන නම යොදන්නට හිතුණේ ඇයි?
‘ඒක හරිම අපුරු කතාවක්. මගේ මිතුරියක සමඟ සුහද කතාබහ ඉන්න අතරතුරේ අපි දරුවන් ගැන කතාවකට වැටුණා. දරුවන් වෙනුවෙන් රස්සාවල් අත් හරින හැටි වගේම මිල මුදල්, කාලය කැප කරන හැටි කියපු මේ කතාවේ දී මම විහිළුවට වාගේ කිව්වා ‘හැබැයි පුත්තු හොරු අරං‘ කියලා. ඒ වෙලාවේ හඬ නඟා හිනාවුණු මගේ මිතුරිය කිව්වේ ‘ඒක නම් පොතක් ලියන්න මරු කතාව‘ කියලයි.
ඒ ඔස්සේ හිතනකොට මට හිතුණා ගැහැනියවත් නොදන්නා ඇය ගැන පොතක වත් ලියලා තිබුණා නම් අපේ පවුල් සංස්ථා ඇතුළේ තියෙන ගැටලු බොහොමයක් විසඳාගන්න පුළුවන්නෙ කියලා. ඒ මාතෘකාව සහ සිිතිවිලි තමයි මේ විදිහට පොතක් ලෙසින් එළි දැක්කේ.
හැබැයි ඔබ පුතුන් දෙදෙනකුගේ මවක්. විශේෂයෙන්ම විවාහක පුතුන් දෙදෙනකුගේ. ඔවුන් මේ නම කොයි ආකාරයට ද භාර ගත්තේ.
“මම පොතක් ලියන බව දැනගත් මගේ පුතාලා ඒ ගැන අහන මොහොතක මේ නම අහලා විමතියට පත්වුණා. මේ පොතේ අඩංගු දේවල් ගැන අහලා මේ නම වෙනුවට වෙනත් නම් බොහොමයක් යෝජනා කළා. නමුත් ඒ කිසි නමක් මගේ හිතට ඇල්ලුවේ නෑ. ඉතින් මම තීරණය කළා මේ නම අපිට පුද්ගලිකව බලපාන්නේ නැතිනම් මේ නම වෙනස් නොකරන්න. ඉතින් මම හිතනවා මගේ පුතාලාට වගේ ඔවුන්ගේ බිරියන් දෙදෙනාටත් මේ නම අදාළ වෙන්නෙ නැති නිසා ඔවුන් ඒ ගැන කලබල නොවුණා කියලා. සමස්තයක් විදිහට අපේ රටේ බොහෝ පවුල් තුළ අඩු වැඩියෙන් තියෙන ගැටලුවක් ගැනයි මම මේ කතා කළේ කියලා ඔවුන් අවබෝධ කරගන්න ඇති.”