වර්ෂ 2025 ක්වූ June 09 වැනිදා Monday
අනුදිගෙ ඇඳුමේ තිබුණේ අපේ උරුම

අද ලෝකයේම අවධානය යොමු වෙලා තියෙන්නේ ඉන්දියාවේ පැවැත්වෙන ලෝක රූ රැජින තරගාවලියට. මෙවර රූ රැජින තරගයම ඒකාලෝක කරමින් දිව්‍යාංගනාවක් කලඑළි බැසීම එයට හේතුවයි. ඇය ශ්‍රී ලංකාව නියෝජනය කරන අනුදි ගුණසේකර. තරගාවලියේ ආරම්භක අවස්ථාවේදීම ලෝකයේම අවධානය දිනා ගැනීමට ඇයට හැකියාව ලැබුණේ ඇයගේ ඇඳුමත් ඇයගේ ඉදිරිපත් කිරීමත් නිසයි. ශ්‍රී ලංකාවේ දේ අගයමින් සංස්කෘතිය සහ පෞරාණිකබව පිළිබිඹු කරන ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය නිල් මානෙල් මල තේමා කරගත් මේ ඇඳුම ගැන ලෝකයක්ම කතා කළා. මේ අපූරු ඇඳුම නිර්මාණය කළෙත් ශ්‍රී ලාංකික ඇඳුම් නිර්මාණ ශිල්පිනියක්. ඇය අමිලානි පෙරේරා. ඉතින් ලෝකයක්ම කතා කළ ඒ ඇඳුම හැදුන හැටි ඇය තරුණීට කියන්න අමතක කළේ නැහැ.
"මිස් ශ්‍රී ලංකා ඇතුළු විවිධ පැජන්ට් සඳහා මම ඕෙන තරම් යුවතියන්ට ඇඳුම් නිර්මාණය කරලා තියෙනවා. හැබැයි ඒ හැම කෙනාම අතරින් අනුදි කියන්නේ හොඳම කෙනා කිවුවොත් හරි. මොකද අනුදි මිස් ශ්‍රී ලංකා දිනපු වෙලාවෙම මට කතා කළා. එයාට මිස් වර්ල්ඩ් යන්න ලොකු සැලසුමක් තිබ්බා. ඒවෙද්දිත් ඒ සැලසුම එයා හදාගෙන ඉවරයි. එයාම තීරණය කරලා තිබුණා මිස් වර්ල්ඩ් ආරම්භක වටයේදී අඳින ඇඳුම මම නිර්මාණය කරන්න ඕනේ කියලා."
ඒ තරම් විශ්වාසයක් ඔබ ගැන ඇයට ඇති වුණේ කොහොම ද?
මිස් ශ්‍රී ලංකා තරගයට යන ගොඩක් අය මගෙන් ඇඳුම් නිර්මාණය කරගන්නවා. ඊට අමතරව සෝෂල් මීඩියා හරහාත් මගේ බ්‍රෑන්ඩ් එකට යම් කිසි ප්‍රසිද්ධියක් තියෙනවා. අමිලානි පෙරේරා සන්නාමයට ශ්‍රී ලංකාව, ඔස්ට්‍රේලියාව සහ සිංගප්පූරුව වගේ රටවල ලොකු වෙෙළඳපොළක් තියෙනවා. ඒ දේවල් දිහා බලද්දි අනුදිට හිතෙන්න ඇති මේ වැඩේ මට භාරදෙන්න ඕනේ කියලා.
මේ ඇඳුමේ තේමාව හරි විශේෂයි..
ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය නිල් මානෙල් මල තේමාව කරගෙන ඇඳුම නිර්මාණය කරන්න කියලා අදහස දුන්නෙත් අනුදිමයි. ඊට අමතරව ශ්‍රී ලංකාවේ පළමු රූ රැජිනගේ නම මානෙල් ඉලංගකෝන්. අැයගේ නමට ගැළපෙන පරිදි නිල් මානෙල් මලෙහි වර්ණය මුසු කරගන්නත් ඇයට ඕනෙ වුණා.
එයාගේ ඒ අදහස් එක්ක බලද්දී එයා හරි ඉහළ තැනක ඉන්නවා. ඊට පස්සේ එයා සම්පූර්ණ ඇඳුමම නිර්මාණය කරන්න මට නිදහස දුන්නා. ඒකෙදි එයා කිවුවා මේ නිර්මාණය කරද්දි උඩරට ඔසරිය යොදාගෙන කරන්න කියලා. මොකද ඇය රජරට පුරවරයෙන් එන යුවතියක්.
ඇඳුම නිර්මාණය වුණේ කොහොම ද?
එයාගේ අදහස්වලට අමතරව මම ඇඳුමට සීගිරි ලලනාවන් ද එකතු කළා. මොකද ඒ හරහා ශ්‍රී ලංකාවේ උරුමයන් පෙන්නුම් කරන්න පුළුවන්.
ගිය අවුරුද්දේ තමයි අපි මේ ඇඳුම නිර්මාණය කරන්න ගත්තේ. අපිට ලොකු කාලයක් තිබුණ නිසා අපි හිමීට ඇඳුම නිර්මාණය කරගෙන ගියා. අපි යොදාගත්ත රෙදි වර්ග ගැන කතා කළොත් සැටින් රෙදි වර්ගයත් ඊට උඩින් ලේස් එකකුත් යොදා ගත්තා. ඒ ලේස් එක වුණත් නිල්මානෙල් මල් එම්බ්‍රොයිඩරි ලේස් එකක් තමයි අරන් තියෙන්නේ. ලේස් එක පෙන්නපු ගමන් ඒ ලේස් එකටත් අනුදි කැමති වුණා. එයා හැමවෙලාවෙම මේ වැඩවලට මාව හමුවන්න ආවා. තව එයා මගෙන් ඇඳුම් කිහිපයක්ම අරගෙන ගියා මිස් වර්ල්ඩ් තරගයේ ඉදිරිපත් කිරීම්වලට. ඉදිරියේදී ඒ ඇඳුම් නිර්මාණත් දැක ගන්න ලැබේවි.
ඔබ නිර්මාණය කරපු මේ ඇඳුම අනුදි මුලිම දකිද්දි එයා මොකද කිව්වේ?
මුල් ප්‍රින්ට් එක නිර්මාණය කරලා අනුදිට පෙන්නුවාම අනුදි බලපු ගමන්ම කැමති වුණා. පබළු අල්ලන ඒවා ඔක්කොම කළේ අතින්. ටසල් වුණත් අපි අතින්ම හදපු ඒවා. ලේස් වුණත් අතින් මැහුවේ.
මේ නිල් මානෙල් ඇඳුමේ දියකිඳුරියක් විදිහට යන බක්‍රම් එකක් සම්බන්ධ කරලා තිබුණේ. එයා ඇවිදලා බලලා කිවුවා බක්‍රම් එක නිසා එයාගේ ඉදිරිපත් කිරීම කරන්න අමාරුයි. ඒ නිසා බක්‍රම් එක නැතුව ගියාට කමක් නැද්ද කියලා. මම ඒකට එකඟ වුණා. මොකද මම ඇඳුම නිර්මාණය කළේම එයාගේ ලස්සන වැඩි කරන්න මිසක් එයාගෙන් මගේ ඇඳුම ලස්සනට පෙන්න ගන්න නෙවෙයි. ඒ නිසා මම ඇඳුමට දිලිසෙන දේවල්, ලොකු ලොකු වර්ක්ස් යොදා ගත්තේ නැහැ.
අනෙක් රටවල ඒ අවස්ථාවේ අැඳපු ඇඳුම්වලට වඩා ඔබ නිර්මාණය කළ මේ ඇඳුම ගොඩක් වෙනස්..
අනිත් රටවල ඇඳුම්වලට වඩා මට වෙනස් දෙයක් කරන්න ඕනේ වුණා. මොකද මම දැනගෙන හිටියා මේ වගේ තරගයක ආරම්භක වටයේදී ගොඩක් අය රත්රන්, රතු, නිල්, කොළ වගේ තද පාටවල් පාවිච්චි කරන්නේ කියලා.. මේ තරගයේදිත් ඒක ඒ විදිහටම වෙලා තිබුණා. ඉතින් ඒ හැමෝටම වඩා අනුදිව මේ ඇඳුමෙන් වෙනස් විදිහකට පෙන්වන්න පුළුවන් වුණා. අපි යොදාගත් ළා දම් පැහැය නිසා ඇය හැමෝටම වඩා කැපී පෙනුණා කියලා මට හිතෙනවා.
ආරම්භක වටයේදීම අනුදි ගැන ලෝකයම කතා කළා. මොකද ඒ ගැන හිතෙන්නේ?
අනුදි ඇඳුම අඳින්න කලින් මට මැසේජ් කරලා කිව්වා ‘මම ටිකක් කලබල වෙලා ඉන්නේ. අද රෑට මම ඔයා හදපු ඇඳුම අදිනවා. මම මගේ උපරිමය ඉදිරිපත් කරලා පෙන්වනවා කියලා.’ අනුදි තරගය වෙලාවේ මට ලයිව් ලින්ක් එකක් එව්වා. මම ඒක බලාගෙන හිටියා. මට හරිම සතුටක් දැනුණේ. සෝෂල් මීඩියාවල හැමෝම අනුදිගෙ ඇඳුම ගැන සහ ඒ තේමාව ගැන ගොඩක් කතා බහට ලක් ඒ හැමදේම මට ලොකු සතුටක්.
මිස් වර්ල්ඩ් වගේ තරගයකට යද්දි ශ්‍රී ලංකාවේ වැඩි දෙනෙක් පිටරට විලාසිතා නිර්මාණකරුවන්ගේ සහය ලබා ගන්නයි බලන්නේ. හැබැයි අනුදිට ඕන වුණේ ශ්‍රී ලංකාවෙම දෙයක්. ඉතින් දේශීය දේ අගය කිරීම අනුදිගේ හොද ගුණයක්.
මට ලොකු සතුටක් දැනෙනවා. මොකද ඒ මහන්සිය අපතේ ගියේ නැහැ. අනුදිත් ඒ අවස්ථාවේදී ලස්සනට ඒ ඉදිරිපත් කිරීම කළා. මම ඇතුළුව මගේ කණ්ඩායමේ හැමෝම සතුටු වෙනවා. මිස් වර්ල්ඩ් තරගයේදී අනුදිව මේ විදිහට ලස්සන කරන්න අවස්ථාව ලැබුණට. මොකද අපි ඒක හදවතින්මයි කළේ. ඇඳුම භාර දෙද්දිත් අපි කිව්වේ පුළුවන් උපරිමය කරලා ශ්‍රී ලංකාවේ නම ලෝකයක් ඉදිරියේ බබළවන්න කියලා.
ලෝකයක් ඉස්සරහා අනුදිව මේ තැන තියන්න ලස්සන නිර්මාණයක් කරපු ඔබ ගැන යමක් කිව්වොත්...
මම ඉගෙන ගත්තේ කොළඹ මියුසියස් විද්‍යාලයෙන්. ඉන්පසුව සිංගප්පූරුව ලසාල් විශ්වවිද්‍යාලයෙන් විලාසිතා නිර්මාණය පිළිබඳව ඉගෙනගෙන උපාධිය ලබා ගත්තා. ඉන්පසු ශ්‍රී ලංකාවට ඇවිල්ලා මාස් හෝල්ඩිංග්ස් ආයතනයේ විලාසිතා නිර්මාණ ශිල්පිනියක් විදිහට අවුරුදු 5ක් වැඩ කළා. ඒ වැඩ කරන අතරතුර colombo fashion week එකටත් මම අයැදුම් කළා. 2013 වසරේදී තමයි මම මුලින්ම සන්නාමයක් විදිහට අමිලානි පෙරේරා කියන නමින් ඉදිරිපත් වුණේ. ඉතින් මගේ නමින් ඒ බ්‍රෑන්ඩ් එක දිගටම කරගෙන යනවා. කොළඹ පිහිටි මගේම ආයතයනය පටන් අරගෙන අවුරුදු 13ක් වෙනවා. ඉන්දියාවෙත් විලාසිතා නිර්මාණ උපදේශිකාවක් විදිහට කටයුතු කරනවා.
ඔස්ට්‍රේලියාවෙත් මගේ බ්‍රෑන්ඩ් එක බහුජාතික වෙෙළඳ නාමයක් බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් මම දැන් ඔස්ට්‍රේලියානු විලාසිතා කවුන්සිලයෙත් සාමාජිකාවක්. මගේ ඇඳුම් එකතූන් සඳහා අපිට හවුල්කාරීත්වයක් තියෙනවා එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල සමඟ. ඒකේදි විවිධ ආපදාවලට ලක් වූ, අතවරවලට ලක් වූ දරුවන්ට මම විලාසිතා නිර්මාණකරණය සහ ව්‍යාපාර දැනුම ලබා දෙනවා. ඉතින් ව්‍යාපාර කටයුතු නිසා ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව යන රටවල් දෙකටම මම කාලෙන් කාලෙට යනවා. මේ දවස්වල නම් මම ඔස්ට්‍රේලියාවේ ඉන්නේ. මගේ අම්මට තාත්තට වගේම මගේ සැමියාටත් ගොඩක් ස්තුති කරන්න ඕනේ. එයාලා මට ලොකු හයියක්. මම අවුරුදු 6ක පුතෙක්ගේ මවක්. ඒ වගේම මට වැටෙන්න නොදී මේ ගමන එන්න හයියක් වුණ මගේ කණ්ඩායමටත් මම ස්තුති කරනවා.
PIX BY - Arantha photography