මහාචාර්ය මාලනී ඇඳගම හා ඉතිහාසය

ජූලි 21, 2025

මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය හා ඉතිහාසය විෂයය ක්ෂේත්‍රය වෙනුවෙන් ඇයගේ මෙහෙවර හා කැපවීම යුග මෙහෙවරක් බව නොපැකිළ කිවහැකි. ඔසරියෙන් සැරසී උපැස් යුවළ පැලැඳි ඈ දන්නා හඳුනන අයෙක් දුටුවිට ප්‍රසන්න සිනහවකින් සංග්‍රහ කර "කොහොමද ? " යනුවෙන් ළෙන්ගතුව විමසන විට අප දුටුවේ සැබෑ හෙළ කතක වශයෙන්. ඇදුරුතුමියක ලෙස මෙන්ම ,ජාතික ව්‍යාපාරයේ ද එතුමියගේ සෘජු මෙන්ම එඩිතර භූමිකාව අප දුටුවා. ඇයගේ නුගේගොඩ නිවෙසට ගිය අයෙකුට මවුගුණය මුසු වූ එම ළෙන්ගතු ආගන්තුක සත්කාර ගැන ඇත්තේ කෘතවේදී මතක සටහන්. එය ඈ හඳුනන කවුරුන් වුව ද හොඳින්ම දන්නා දෙයක්. ඇය ශිෂ්‍යයන් දෙස බැලුවේ ද තම දරුවන්ය යන හැඟීමෙන් බව අද ඇයගේ මතකය හා ගුණ සිහිකරන දසදහස් සංඛ්‍යාත ශිෂ්‍ය ප්‍රජාවගේ සිහියට නැඟෙනු ඇති. ඇය, පසුගියදා සිය දිවිගමන නිමා කළ සේවාර්ජිත මහාචාර්ය මාලනී ඇඳගම මහත්මියයි.

 

1940 සැප්තැම්බර් 5 වැනිදා ඇය උපත ලැබුවේ , කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලපිටමඩ නම් සුන්දර ගම්මානයේ. ඒ, දරුවන් සත්දෙනෙකුගෙන් යුතු ගොවි පවුලක සයවැන්නිය ලෙසයි. ගමේ පාසල වූ නාරංගස්තැන්න මිශ්‍ර පාසලෙන් ප්‍රාථමික අධ්‍යාපනය හදාරා ශිෂ්‍යත්ව විභාගය සමත්වන ඇය රුවන්වැල්ල මධ්‍ය විද්‍යාලයට ඇතුළත් වීමට වරම් ලැබුවා. " මං ඈත ගමක ඉපදිලා, ගමේ පාසලෙන් පටන් අරන් ශිෂ්‍යත්වය සමත් වෙලා කන්නන්ගර මැතිතුමා ආරම්භ කළ මධ්‍ය විද්‍යාලයකට ඇතුළත් වීමට වාසනාවන්ත වුණා. අපි මෙතෙන්ට ආවෙ නිදහස් අධ්‍යාපනය නිසා...." යන්න වරින් වර ඈ සිහිපත් කළ කරුණක්.

කලකට පෙර Sunday Observer පුවත්පත වෙනුවෙන් ලක්මාල් වෙලබඩ, මහාචාර්ය මාලනී ඇඳගම මහත්මිය සහ ඇයගේ ස්වාමිපුරුෂයා වූ මානව විද්‍යාඥ පණ්ඩුල ඇඳගම මහතා සමඟ සිදුකළ සංවාදයේ දී ඔවුන් දෙපළ සිය අතීත මතක රසාලිප්තව සිහිකර තිබුණා. සිය කුඩා විය ගැන එහිදී මහාචාර්යතුමිය සිහිපත් කළේ මෙලෙසින්. " ගමේ අපට සරල, ලස්සන ජීවිතයක් තිබුණා. බැලූ බැලූ අත වෙල්යාය. අලුත් සහලේ බත් ඉදෙන සුවඳ මට තවමත් දැනෙනවා. මං ඒ සුවඳ විඳිනවා. බඩගින්න එන්නෙ ඒ සුවඳ එක්ක. අපේ ගමේ ගෙවල් තිහක් හතළිහක් විතර තිබුණා. ඒ හැම ගෙදරටම කුඹුරක් තිබුණා. හරකා බාන හිටියා. හේන් ගොවිතැන් කළා. ඒ හේන්වල කුරක්කන් , ඇල් වී , අමු , එළවළු , පලතුරු වැව්වා. හේනෙ ඉඳන් කියූ පැල් කවි මට තවමත් මතකයි. අල, බතල , කොස් ,දෙල් , කතුරුමුරුංගා වගේ දේවල් ගෙවත්තෙම වගාකර තිබුණා. අපේ ආහාර වේල ගමෙන්ම සැපයුණා. එදා තිබුණේ ස්වයංපෝෂී ගමක්. අපි උදේ 5 ට අවදි වුණා. මවුපියන්ට ගෙදර දොර වැඩපළට උදවු කළා, ගෙවල්, මිදුල් අතු ගෑවා, ළිඳෙන් වතුර ඇදලා වගාවට දැම්මා. එළදෙනුන්ගෙන් කිරි දෙව්වා. අපි මේවා කළේ සතුටින්. ඒවා අපට කවදාවත් වදයක් වුණේ නෑ. ඇත්තටම මේ හුරුව නිසා අපේ ජීවිත හැඩගැහුණා. එහෙම ගෙදර දොර වැඩත් කරලා ඉස්කෝලෙ ආවම එතැන නිකම් හිටියෙත් නෑ. එතැනදිත් කරන්න වැඩ කොටසක් තිබුණා. ඒවත් අපි සතුටින්ම කළා. ඉතින් මේ හැමදෙයක්ම ජීවිතයේ විවිධ පැතිකඩ ගැන ප්‍රායෝගික පාඩම්. අපි ඒවා ආසාවෙන් ඉගෙන ගත්තා..."

 

උසස් අධ්‍යාපනය සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට සුදුසුකම් ලැබූ ඇය ඉන් පිටවූයේ, ඉතිහාසය විෂයය පිළිබඳ ගෞරව උපාධිධාරිනියක වශයෙන්. සහාය කථිකාචාර්යවරියක ලෙස පේරාදෙණියේම කලක් සේවය කළ ඇය, 1971 වසරේ දී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්යවරියක ලෙස සේවයට එක්ව 2005 වසරේ දී විශ්‍රාම ලබන තෙක්ම සිය වෘත්තීය මෙහෙවර උපරිමයෙන් ඉටුකළා. ඒ, දශක හතරක් පමණ වූ වෘත්තීය ජීවිතයේ දී පේරාදෙණිය, හා ජයවර්ධනපුර පමණක් නොව රුහුණ, රජරට,ඌව වෙල්ලස්ස (එවක අනුබද්ධ විශ්වවිද්‍යාල යනුවෙන් ඇරැඹි) ආදී වශයෙන් විශ්වවිද්‍යාල පද්ධතිය තුළ අධ්‍යාපනික මෙන්ම පරිපාලන භූමිකාවල වගකීම් ද දරමින්.

 

මාලනී ඇඳගම මහාචාර්ය තුමියගේ ශාස්ත්‍රීය හා සාහිත්‍ය මෙහෙවර ද විශිෂ්ටයි. පසුකාලීනව ඇය බලවත් ඕනෑකමින් හා කැපවීමෙන් කටයුතු කළේ, මහාවංශ සම්පාදක මණ්ඩලයේ ලේකම් වශයෙන්. එමඟින් ශ්‍රී ලංකාවේ ඓතිහාසික මූලාශ්‍ර සංරක්ෂණය කිරීමේ භාරදූර කර්තව්‍යයට ඇය දායක වූවාය. මහාවංශය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් ඇය විශාල ප්‍රයත්නයක නියැළී සිටියා.

 

අධ්‍යාපන අමාත්‍යාංශය දියත් කළ ඉතිහාස ව්‍යාපෘතියේ ප්‍රධානියා වූයේ ද ඇයයි. ශ්‍රී ලංකා ඉතිහාස සංගමය පාර්ලිමේන්තු පනතක් මඟින් ස්ථාපිත කරගැනීම සඳහා මූලික වූ ඇය, කලක් එහි සභාපති ධුරය ද උසුලනු ලැබුවා. ඉතිහාසය විෂයය පාසල් විෂය මාලාවට ඇතුළත් කිරීම සඳහා මුල් වූයේ ද ඇයයි. ඇයගේ කාලයෙන් පසුව යළිත් ඉතිහාසය විෂයය නොතකා හැරීමට ලක්වූ විට ඇයගේ මූලිකත්වයෙන් විෂයය ප්‍රවීණයන් දැරූ බලවත් පරිශ්‍රමය නොවන්නට අද අපේ දරුවන්ට පාසලේ දී ඉතිහාසය විෂයය හදාරන්නට නොලැබෙනු ඇති. ඉතිහාසය අමතක කළ ජාතියකට පැවැත්මක් හෝ අනාගතයක් නැතිබව පැහැදිලි කරුණක්.

 

ඇය, නිතර අවධාරණය කළ කාරණයක් වූයේ කන්නන්ගර ප්‍රතිපත්ති මත පදනම්ව අපේ අධ්‍යාපන ප්‍රතිපත්ති සකස් විය යුතු බවයි. ගම්බද දරුවන්ට ශිෂ්‍යත්වය සමත්ව නගරයේ පාසලකට ඇතුළත් වීමේ අයිතිය අහිමි කෙරෙන්නේ නම් එය එම දක්ෂ දරුවන් ඈත දුෂ්කර ගම්මානවලම කොටුකර හුදෙකලා කිරීම බව ඇය ප්‍රබල ලෙස පෙන්වා දුන්නා. 2021 වසරේ දී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යා අධ්‍යයන අංශය ඇය විශ්‍රාම ලබද්දී, දශක 4ක එම වෘත්තීය මෙහෙවර අගයමින් සිදුකළ ප්‍රණාම හරසර පිදීමේ උලෙළ අමතමින් ද ඇය තමන් ආ ගමන නිදසුන් කරමින් මේ කාරණය අවධාරණය කළා.

 

මහාචාර්ය මාලනී ඇඳගම ශාස්ත්‍රීය හා පර්යේෂණ ග්‍රන්ථ කිහිපයක්ම සිය ක්ෂේත්‍රයට දායාද කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ ගම්සභා ක්‍රමය ගැන පුළුල්ව පර්යේෂණයේ යෙදීමෙන් අනතුරුව ඇය එළිදැක්වූ " ශ්‍රී ලංකාවේ ගම්සභා ක්‍රමයේ ඉතිහාසය" කෘතිය රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් ද පිදුම් ලැබුවා. Political History of Sri Lanka කෘතිය ද ඇයගේ කෘති අතර තිබෙනවා.

මීට අමතරව සිය ශාස්ත්‍රීය දැනුම ඇය ජනමාධ්‍ය ඔස්සේ ද සමාජයට රැගෙන ගියා.

 

ඇඳගම යුවළ මධ්‍ය මහා විද්‍යාලවලින් බිහිවී විශ්වවිද්‍යාලයට ආ අයයි. ඔවුන් දෙදෙනාගේම විශ්වවිද්‍යාලය වූයේ පේරාදෙණියයි. වාසනාවකට එම සරසවි ප්‍රේමය කිරුළු දැරුවා. එයත් ලස්සන කතාවක්. පෙර කී සංවාදයේ දී දෙදෙනාම එක්ව ඒ ආදර කතාව හෙළිදරව් කර තිබුණේ මෙලෙසින්. පේරාදෙණියට කොළඹින් ආ ශිෂ්‍යයන් තමන්ව හඳුන්වා ගත්තෙ

"කුල්ටූර්"( Cultoor) කියලා. කුල්ටූර් කියන්නෙ Cultured People කියන එක කෙටිකර යෙදීමක්. ඒ කියන්නෙ ඔවුන් තමයි "සංස්කෘතික මිනිස්සු" ගමෙන්, මධ්‍යමහා විද්‍යාලවලින් ආව අපිට ඔවුන් කිව්වෙ "හරමානිස්" කියලා. අපි, හරමානිස්ලා කියන්නෙ "අසංස්කෘතික මිනිස්සු" . වාසනාවකට අපි දෙන්නම මධ්‍ය මහා විද්‍යාලවලින් ආවෙ..."

 

මේ දෙදෙනාගෙන් ජ්‍යේෂ්ඨයා වූ පණ්ඩුලට මාලනී මුලින්ම නෙත ගැටෙන්නේ තමන් ඉගෙනුම ලැබූ රත්නපුර සීවලි මධ්‍ය මහා විද්‍යාලයෙන් සරසවියට ආ මිතුරියක හමුවන්නට නේවාසිකාගාරයට ගිය විටෙක. "එයාගෙ කාමර සගයා තමයි මාලනී. එතැන් පටන් ඒ දෙදෙනාගේම භාරකාරයා වුණේ මං. ටවුමට ගියත්, කඩ සාප්පුවකට ගියත්, දළදා වඳින්න ගියත් මේ කොතැනට වුණත් ඒ දෙන්නාම මමත් එක්ක ගියේ.."

මෙතැනදී සිය ස්වාමියා කී දෙයට යමක් එකතු කළ මාලනී ඇඳගම මහත්මිය, " ඇත්තටම අපි තනියෙන් නුවර ගියේ නෑ. ගියා නම් ගැහැනු ළමයි හතර පස් දෙනෙක් එකට. ඒත් , පණ්ඩුල හඳුනාගත්තට පස්සෙ අපිව රැකබලාගෙන ඒ හැම ගමනක්ම අපිව එක්කගෙන ගියේ ආවෙ එයා..."

එවකට ද පණ්ඩුල කඩවසම් මෙන්ම රැඩිකල් ශිෂ්‍යයෙක් ලෙස විශ්වවිද්‍යාලයේ කැපී පෙනුණා .ඒ නිසා සිසුවියන්ගේ ආකර්ෂණය පිළිබඳ ගැටලුවක් ද තිබුණේ නෑ..එහෙත්, අන් කිසිවෙක් කෙරෙහි නොව ඔහුගේ සිත ගියේ මාලනී වෙතයි. මිතුදම කෙමෙන් ප්‍රේමය දක්වා දිගුවූවා.."එයා හැමදෙයක් දිහාම සැහැල්ලුවෙන් බලපු නිතර හිනාවෙලා හිටපු ගැහැනු ළමයෙක්. ඒත් එක්කම යම් දැඩි ගතියකුත් එයාගෙ තිබුණා. මං ඒකට කැමතියි. අනෙක අපි දෙන්නම ගම්වලින්, මධ්‍ය මහා විද්‍යාලවලින් ආ අය. කොහොමටත් මං කුල්ටූර් ගැහැනු ළමයෙක්ට කැමති වුණේ නෑ..."

 

ඔවුන්ගේ පවුල් දිවිය ආදරණීය හා ආදර්ශවත් වූවක්. දරු මුණුපුරන් ඇසුරේ එය සතුටින් ගතවුණා. පණ්ඩුල ඇඳගම මහතා කලෙකට පෙර දිවියෙන් සමුගන්නා තෙක්ම ඒ බැඳීම එලෙසින්ම සොඳුරුව පැවැතියා.

 

ඉකුත් ජූනි 30 වැනිදා මහාචාර්ය මාලනී ඇඳගම මහත්මිය සිය දිවි ගමන නිමාකරන විට 85 හැවිරිදි වියේ පසුවූවා. ඉතිහාසය විෂයය හා විශ්වවිද්‍යාල ක්ෂේත්‍රය වෙනුවෙන් බොහෝ කැපවූ ඇයගේ එම විශිෂ්ට යුග මෙහෙවර ද ඉතිහාසයට එක්වනු ඇති.