සරසවිය සම්මානයෙන් පසු නුවන්දිකා නව වැඩකට මුලපුරයි

ජූලි 21, 2025

කලා ක්ෂේත්‍රය තුළ නුවන්දිකා සේනාරත්න කියන්නේ සොඳුරු සිතැත්තියකි. ඇය මේ ක්ෂේත්‍රයේ සිටින අවිහිංසක, නිහතමානී චරිතයකි. පසුගිය දිනවල හොඳම ගායිකාව ලෙස සරසවි සම්මානයෙන් පිදුම් ලබන ඇය තවත් රසික රසිකාවියන් අතර කතාබහට ලක්වූවාය.

 

නුවන්දිකා සේනාරත්න කියන්නේ කවුද?

 

මුලින්ම මම එහෙමත් නැත්තම් නුවන්දිකා සේනාරත්න කියන්නේ කවුද කියලා කිව්වොත් මම ඉපදුණේ කුරුණෑගල, නාරම්මල ප්‍රදේශයේ පිහිටි

ලස්සන ගමක. ලස්සන කඳු වළල්ලකින් වටවුණු කුරුණෑගල නගරය මගේ ජීවිතයට බොහොම සමීපයි. පවුලේ මමයි, අම්මයි, තාත්තයි ඉන්නේ. මගේ පාසල නාරම්මල මයුරපාද විද්‍යාලය. මම සංගීතය හදාරමින් ඉන්නවා. ඒ වගේම සංගීත විශාරද කෙනෙක්. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරික් ලෙස සේවය කරනවා.

 

නුවන්දිකා ඔබට සරසවිය සම්මාන උළෙලේ හොඳම ගායිකාවට හිමි සම්මානය ලැබුනා ඒ ගැන කිව්වොත්?

 

2025 සරසවිය සම්මාන  උළෙලේ සම්මානය ළඟදි  හිමිවුණේ. 2024 තිරගත කළ නිර්මාණයකට. සිංහබාහු චිත්‍රපටයේ පළමු ගීතය කියන්නේ මම.

" ගිරි සිරස වසා " යන ගීතය.  ඒකට මට වසරේ හොඳම ගායිකාව සම්මානය ලැබුණා. ඒක මගේ ජීවිතයේ වටින සම්මානයක්, සංගීත ක්ෂේත්‍රයේ මට ලැබුණු වටිනා ඇගයීමක්. මේ ගීතය පද රචනය කරන්නේ එම චිත්‍රපටයේ ආචාර්ය සෝමරත්න දිසානායක මහතා. මට ඒ අවස්ථාව ලබා දුන් හැමෝටම ස්තුතිවන්ත වෙනවා. 

 

ඉදිරියේදී එන නිර්මාණ තිබේද? ඒ ගැන කියන්න පුළුවන් ද?

 

ඉදිරියේදී මගේ විශේෂ වැඩක් එනවා. මගේ පළමු කොන්සට් එක. ඒක මගේ ජීවිතයේ පළමු ඒකපුද්ගල ප්‍රසංගය ( Solo Concert). මේ දවස්වල මම ඒකට මහන්සි වෙලා වැඩ කරනවා. ඒක තියෙන්නෙ ඔක්තෝබර් 08 වැනිදා කොළඹ බිෂොප් විද්‍යාලයයී ශ්‍රවණාගාරයේදී. මේ ප්‍රසංගය ලංකාව වටේටම රැගෙන යන්නට බලාපොරොත්තු වෙනවා. මගේ ආදරණීය රසික රසිකාවියන්ට ආරාධනා කරනවා මගේ මේ වැඩේ සමඟ එකතු වෙන්න කියලා.  ඒ වගේම මගේ ඉගෙනීමේ කටයුතු කරමින් , සංගීත ක්ෂේත්‍රයේ ලොකු ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා.

 

ඔබේ කාර්යබහුල ජීවිතය ගෙවෙන්නේ කොහොමද?

 

මම ගොඩාක් කාර්යබහුල කෙනෙක් නෙවෙයි.  ඒත් සමහර දිනවලදී කාර්යබහුල ජීවිතයක් තියෙනවා.  ඊට අමතරව විශ්වවිද්‍යාලයේ වැඩත්, කලා කටයුතු කළමණාකරණය කර ගන්නවා. ගොඩක් දුර කලා කටයුතු වලට ගොඩක් දුර ගියාම මගේ අනෙකුත් වැඩ වාහනයේ යමින් එමින් ගමන් කරගන්න පුළුවන් ඒවා කරගන්නවා.

 

ඔබ කලා ක්ෂේත්‍රයට පිවිසුණේ කෙසේද?

 

කලා ජීවිතය,  සංගීතය ගත්තොත් සංගීතය ඉගෙන ගන්න පටන් ගත්තේ 6 ශ්‍රේණියේ සිටයි. මම පාසලේදී,  සාමාන්‍ය පෙළ,  උසස්පෙළ සිට මේ දක්වාම සංගීතය එකදිගට ඉගෙන ගත්තේ  හරිම ආසාවෙන්. සංගීතය ගැන ආසාව, උනන්දුව නිසාම සෞන්දර්ය විශ්ව විද්‍යාලයට ඇතුළත් වුණා. මම සමග ගොඩක් ගුරුවරුන් හිටියා මේ තැනට එන්න. ඒ අතරින් මගේ මුල් ගුරුතුමා වන චන්ද්‍රපත්ම ජයසිංහ සර්, ඒ වගේම මගේ විශ්වවිද්‍යාල ගුරුතුමා වන සමන් සමන්පිටිය සර්ව, විශ්වවිද්‍යාලයේ ගුරුතුමන්ලාව මතක් කරනවා විශේෂයෙන්ම. ඒ වගේම මෙතරම් දුරක් එන්න මට හයියක් වුණු මගේ අම්මා, තාත්තා ඒ දෙන්නාව ආදරයෙන් මතක් කරනවා.  මම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ " E " ශ්‍රේණියේ ගායිකාවක් ලෙස ද වැඩ කරනවා. 

කලා ක්ෂේත්‍රය කියන්නේ මම ඒක ගොඩාක් බලාපොරොත්තුවෙන් සිටි එකක්. තරගවලට ගිහින් කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණ  අය මුණගැහුණා. ඒ වගේම සංගීතය කළා. ඉගෙනීම් දිගටම කළා. ඒ දෙකම එකතුවෙලා තමයි අද මම මේ තැන ඉන්නේ.

 

ඔබේ ජීවිතයේ මුහුණදුන් අභියෝග මොනවාද?

මම ගෑනු ළමයෙක්. සෞන්දර්ය විශ්ව විද්‍යාලය තියෙන්නේ කොළඹ. කොළඹ නගරය ඇතුළේ විවිධාකාර පුද්ගලයන් ඉන්නවා.  මම තනියම කොළඹ ඇවිත් ඒ වැඩ ටික පරිස්සමින් කරගන්න එක ලොකු අභියෝගයක් වුණා. මට දැන් හිතෙනවා මම ඒ අභියෝගයට හරියටම මුහුණදුන්නා  කියලා.

 

නුවන්දිකා, ඔබ මෙතෙක් කළ නිර්මාණ වලට ලැබුණු ප්‍රේක්ෂක ප්‍රතිචාර මොන වගේ ද?

 

මගේ ගොඩක් නිර්මාණවලට ඇත්තටම හොඳ අදහස් තමා එන්නේ. මට මගේ ප්‍රේක්ෂකයෝ ගොඩක් ආදරෙයි.  එයාලා මට මගේ කටහඬට ගොඩක් ආදරය කරනවා. ඉතාම කලාතුරකින් මට නොගැළපෙන සින්දුවක් කළොත් ඒක මගේ හිත නොරිදෙන ලෙස කියනවා.

ඒ වගේම මට මේ ලඟදි වෘත්තිය මට්ටමින් ඇගයීම් කිහිපයක්ම ලැබුණා.

 

ඔබ ඉදිරියේ රංගන ක්ෙෂ්ත්‍රයට පිවිසීමට බලාපොරොත්තු වෙනවාද?

 

රංගන ක්ෂේත්‍රයට යනවා සහ යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා කියන්න බෑ. ඉදිරියේදී ආරාධනාවක් ලැබුණොත් ප්‍රතික්ෂේප කරන්නෙත් නෑ.