දීපිකාගේ දෙවැනි ප්‍රේමය

ජූලි 14, 2025

රිදී තිරයේ දැක්වූ ප්‍රතිභාව වෙනුවෙන් තෙවරක් ෆිල්ම් ෆෙයාර් සම්මාන ලැබූ බොලිවුඩ් තරුව දීපිකා පදුකෝන් නව යොවුන් වියේ දී බැබළුණේ රිදී තිරයේ නොවෙයි. ඉන්දියාව බිහිකළ විශිෂ්ට බැඩ්මින්ටන් ක්‍රීඩකයකු මෙන්ම 1980 දී ලොව අංක 1 බැඩ්මින්ටන් ශූරයා වෙමින් ද දස්කම් දැක්වූ සිය පියා, ප්‍රකාශ් පදුකෝන්ගේ ආභාසය ඔස්සේ ජාතික මට්ටමේ බැඩ්මින්ටන් ශූරියක වෙමින් ක්‍රීඩා තරුවක ලෙස ඇය මතුවූයේ කෙළිබිමෙන්.

2018 වසරේ දී TIME සඟරාව ලොව වඩාත් බලපෑම් සහගත චරිත 100 තෝරාගැනිමේදී ද දීපිකා ඔවුන් අතර සිටීමෙන් පෙනෙන්නේ ඇගේ භුමිකාව කොපමණ ප්‍රබල ද යන බවයි. මේ දිනවල ඇය දෙසට වඩාත් අවධානය යොමු වී ඇත්තේ අලුත් චිත්‍රපටයක් නිසා නොව, බැඩ්මින්ටන් ක්‍රීඩාවේ උන්නතිය හා අනාගතය වෙනුවෙන් ඇය තැබූ දැවැන්ත පියවරක් හේතුවෙන්. ඒ , පසුගියදාට යෙදුණු සිය පියාණන්ගේ 70 වෙනි ජන්මදිනය නිමිත්තෙන් ඉන්දියාවේ නගර 18 ක "පදුකෝන් බැඩ්මින්ටන් පාසල " (PSB) යටතේ

" සැමට බැඩ්මින්ටන් " තේමාවෙන් යුතුව පුහුණු මධ්‍යස්ථාන 75ක් ඇරඹීමයි. මෙම මධ්‍යස්ථාන ඇතිකිරීම හා පවත්වාගෙනයාම වෙනුවෙන් අරමුදල් සම්පාදනය කළේ ද ඇය විසින්.

මෙම වැඩසටහන දියත් කරමින් ඇය පවසා තිබුණේ, ක්‍රීඩාශීලීත්වය , සෞඛ්‍යය, ශික්ෂණය වැනි කාරණා ප්‍රවර්ධනය කරමින් වෘත්තීයමය බැඩ්මින්ටන් ක්‍රීඩකයන් බිහිකිරීම මෙම වැඩසටහනේ අරමුණ බවයි. තම ජීවිතය හැඩගැස්වීමෙහිලා බැඩ්මින්ටන් ක්‍රීඩාව බලපෑ අයුරු ද ඈ සිහිපත් කර තිබුණා. වසර 2027 වනවිට රටපුරා මෙවැනි පුහුණු මධ්‍යස්ථාන 250ක් ඇතිකිරීම තම ඉලක්කය බව ඇය පවසනවා. එම බැඩ්මින්ටන් පුහුණු මධ්‍යස්ථාන ඉන්දියාවේ ප්‍රධාන නගර සියල්ලම පාහේ ආවරණය කරනු ඇතැයි සඳහන්.

" සැමට බැඩ්මින්ටන් " ක්‍රියාන්විතය දියත් කරමින් සමාජ මාධ්‍ය අවකාශයේ තැබූ සටහන හදවතට දැනෙන අයුරින් ඇය පෙළගස්වා තිබුණා.

" බැඩ්මින්ටන් ක්‍රීඩාවත් සමඟම ඇතිදැඩිවූ කෙනෙක් ලෙස මා අත්දැකීමෙන්ම දන්නා දෙය නම්, එය කායික හා මානසික සෞඛ්‍යය පමණක්ම නොව අපගේ චිත්තවේග හැඩගැස්වීමෙහි ලා පවා අදාළ වන බවයි. ජීවිතයේ සෑම අදියරකදීම ජීවිතය සමඟ සටන් කර සතුට ළඟාකරගැනීමට මෙන්ම විනයගරුක දිවිපෙවෙතකට අපව හැඩගැස්වීම පිණිස ද එය හේතුවනවා. නිරෝගී ජාතියක් බිහිකිරීමත් අපි මෙම වැඩසටහනින් අරමුණු කරනවා.ඔබ සැවොම හොඳින් දන්නා මගේ තාත්තාට දැන් අවුරුදු 70 ක්. තවමත් ඔහුට තමා ජීවත් කරන හුස්ම මෙන්ම ආහාර වී ඇත්තේ ද බැඩ්මින්ටන්.ඔහු ජීවත් වන්නේ බැඩ්මින්ටන් සමඟයි. ඔහුගේ ක්‍රීඩාව මෙන්ම විලාසිතාවත් බැඩ්මින්ටන් බව මා දන්නවා.

"සැමට බැඩ්මින්ටන්", අපේ තේමාව යථාර්ථයක් කිරීමට අප එක්ව කැපවන බවට මා ඔබට පොරොන්දු වෙනවා..."

 

දීපිකා පදුකෝන් 1986 වසරේ දී උපත ලැබුවේ, ඩෙන්මාර්කයේ අගනුවර වන කෝපන්හේගන් හිදීය. එසේ වුව ද, ඈ හැදී වැඩුණේ ඉන්දියාවේ බැංගලෝරයේ. පිය උරුමයෙන් ජානගතව ලැබුණාක් වැනිව කුඩා කල පටන්ම ඈ කෙළිබිම දස්කම් පෑවේ බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන්. ජාතික මට්ටමේ ශූරියක ලෙස ක්‍රීඩාවේ ඉහළටම පැමිණිය ද තමාගේ සිහිනය වූයේ, මෝස්තර නිරූපිකාවක වීම බව ඇය පවසා තිබෙනවා. සිය මවට නිරතුරු ඇවිටිලි කරමින් දීපිකා මේ සිහිනය සැබෑකරගන්නේ , "අනාගතයේ කවදා හෝ දිනෙක මං ඔබව සතුටු කරනවා..." යැයි ඇයට පොරොන්දු වෙමින්. මේ අතරවාරයේ, 20 හැවිරිදි විය. පියමං කරමින් සිටි ඈ බොලිවුඩයට පිවිසෙන්නේ හින්දි සිනමාව විසින් ඇය ඉල්ලා සිටීම නිසයි. දීපිකා පදුකෝන් සිනමා රසිකයන් අතරට පළමුව පැමිණියේ 2007 වසරේ දී .ඒ, " ඕම් ශාන්තී ඕම්" චිත්‍රපටයෙන්. ඒ වනවිට විසි එක් හැවිරිදි යුවතියක වූ ඈ සිය පළමු රංගනයෙන්ම හින්දි සිනමාව කුල්මත් කරන්නට සමත් වූවා. අද වනවිට විසි වසරක් තිස්සේ බොලිවුඩයේ ඈ බැබළෙන්නේ දීප්තිමත් තාරකාවක වෙමින්. එදා මෙදාතුර ගෙවී ගිය දශක දෙකක කාලයේ ඈ රංගනයෙන් එක්වූ සිනමාපට සංඛ්‍යාව 50 පමණ වනවා.

වරෙක "නැෂනල් ජියෝග්‍රැෆික් " සඟරාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇය පැවසුවේ , තවමත් බැඩ්මින්ටන් ක්‍රීඩාව ප්‍රගුණ කළ ද 16 හැවිරිදි වියේ පටන් නිරූපණය ඔස්සේ සිනමාව කෙරෙහි වඩාත් නැඹුරු වූ බවයි. " ඒක එහෙම වුණත් , බැඩ්මින්ටන් තමයි මගේ දෙවැනි ප්‍රේමය. බැඩ්මින්ටන් ක්‍රීඩාව සමඟ ගෙවීගිය ළමාවිය ගැන සිහිපත් කරමින් ඈ සඳහන් කර තිබුණේ , එය කොපමණ කැපකිරීම්සහගත වෑයමක් ද යන වගයි. " හැමදාම උදේ මං අවදි වුණේ පාන්දර 4 ට නැත්නම් 5 ට. ඊළඟට ව්‍යායාම කරන්න ගියා. ඒ ඉවර වෙලා ගෙදර ඇවිත් ඉස්කෝලෙ ගියා. ඉස්කෝලෙ ඇරිලා ඇවිත් බැඩ්මින්ටන් කෝට් එකට ගියා. ඇත්තටම ඒ කාලෙ මට යාළුවො හිටියෙත් නෑ වගේ. මොකද එයාලව හඳුනාගන්න, කතාබහ කරන්න කාලයක් තිබුණෙ නෑ. ඒ කාලසටහනෙ මම දිගටම ගියා.."

එය වෙහෙසකර හා ඒකාකාරී වියහැකි වුවද ජාතික තලයේ බැඩ්මින්ටන් ශූරියක බිහිකරන්නට ඒ කැපවීම හේතුවන්නට ඇතිබව පැහැදිලියි. අද ඈ කතා කරන්නේ, බැඩ්මින්ටන් ක්‍රීඩාව සිනමා නිළියක වශයෙන් වුවද තමන්ගේ සාර්ථකත්වයට හේතුවූ අයුරු පෙන්වා දෙමින්. ඒ අන් අයට ද ආදර්ශයක් ගතහැකි අයුරින්.

" මං ටිකෙන් ටික යුවතියක වශයෙන් වැඩෙද්දී..තාත්තා නිතර කියූ දෙයක් මං ඔබට කියන්නම්. ඒ, හැමවිටම D 3 මතක තියාගන්න කියලා.මොනවද මේ D අකුරු 3. Discipline (විනය), Dedication (කැපවීම), Determination (අධිෂ්ඨානය) මේවා කියල දීලා නිතරම හදවතට එකඟව කටයුතු කරන්න සහ නිහතමානී වෙන්න කියලත් තාත්තා මගෙන් ඉල්ලුවා. ඇත්තටම ජීවිතයේ පසුකාලීනව මං අසාර්ථක වුණු, කඩාවැටුණු අවස්ථාවලදි පෙරටත් වඩා ශක්තිමත්ව මම නැඟී සිටියේ බැඩ්මින්ටන් එක්ක මගේ තාත්තා මට කියලා දුන්න ඒ පාඩම් නිසා..." මීට වසර කිහිපයකට පෙර ඈ විෂාදයෙන් පෙළෙන්නට වූවාය. " මං ඒ තුළ ගිලෙමින් සිටියා. ඒත්, බැඩ්මින්ටන් ක්‍රීඩාව සහ මං උගත් ඒ පාඩම් විෂාදය පරාජය කර යළිත් නැඟීසිටින්නට මට අයෝමය ශක්තියක් වුණා. අද මං ඒ පාඩම් තවත් බොහෝ දෙනෙකුට කියලා දෙනවා..." යැයි ඇය පවසන්නේ, ජීවිතය දිනූ ගැහැනියක වශයෙන්. දීපිකාගේ සොයුරිය අනීෂා පදුකෝන් ද ගොල්ෆ් ශූරියක්.නෑනා වන තෘප්ති මුරුගන් ද ජාතික තලයේ දස්කම් පෑ බැඩ්මින්ටන් ශූරියක්.

දීපිකාගේ සැමියා වන රන්වීර් සිං , සිනමාවේ ද බොහෝවර ඇගේ පෙම්වතා වූවා. ඔවුන් දෙදෙනාට දියණියක සිටිනවා.ඇය උපත ලැබුවේ ඉකුත් සැප්තැම්බරයේ දී.