වර්ෂ 2025 ක්වූ June 09 වැනිදා Monday
මාලිනී සහ චන්ද්‍රිකා

මාලිනී සහ චන්ද්‍රිකා දෙදෙනාම රටේ රැජිනන් දෙදෙනෙකු වූහ. චන්ද්‍රිකා රටේ පළමු විධායක ජනපති වෙද්දී මාලිනී සිනමාවේ නිළි රැජින වූවාය.
විජය මාලිනී විවාහය සිදු වූවා නම් බොහෝ විට මාලිනීගේ සිනමා ගමන හැත්තෑව දශකයෙන් නිමා වන්නට තිබුණි. ඇය විවාහ වී දරුවන් හදාගෙන බොහෝ විට සාමාන්‍ය පවුල් ජීවිතයක හිමිකාරිය වනු ඇත. බොහෝ දක්ෂ රංගන ශිල්පිනියන්ට විවාහයෙන් අනතුරුව සිදු වූයේ එයයි. විවාහය, දරුවන් හැදීම සාර්ථක පවුල් ජීවිතයක් කොතරම් හොඳදැයි කෙනෙකුට තර්ක කළ හැකිය. එය නිවැරදිය. එහෙත් ගැහැනු පමණක් සිය දක්ෂතා හංගාගෙන පවුල් රකින්නේ ඇයි? පිරිමි විවාහයෙන් පසු එසේ සිය දක්ෂතා හංගාගෙන මුලු ගැන්වෙනවාද? මාලිනීට විජය හිමි වූවා නම් හොඳය. එහෙත් සිනමාවට සිදුවූ මහා සේවය සිදු වන්නේ නැත.
චන්ද්‍රිකාට විජය අහිමි නොවුණා නම් දේශපාලනයේ ඉදිරියට එන්නේ චන්ද්‍රිකා නොව විජයයි. දරුවන්ට තාත්තා සිටිනු ඇත. බිරිඳට සැමියා සිටිනු ඇත. එය ඉතාමත් හොඳය. චන්ද්‍රිකා ජනාධිපති තනතුර දක්වා පැමිණෙන්නේ ඇගේ සැමියාගේ වියෝව නිසාය. ඇගේ අම්මා ලොව පළමු අගමැතිනිය වන්නේ ඇගේ පියාගේ අභාවය නිසාය. ඔහු ජීවත්ව සිටියා නම් සිරිමාවෝ බණ්ඩාරනායක නම් දේශපාලන චරිතයක් ලංකා ඉතිහාසයේ නොසිටිනු ඇත.
මෙය අපේ රටේ ගැහැනු තිදෙනෙකු පිරිමි ආධිපත්‍යයෙන් මිදී සිය ජීවිතවල සාර්ථකත්වය අත්දුටු ප්‍රකට අවස්ථා තුනකි. ඉන් දෙකකටම මූලික වන්නේ එකම මිනිසෙකි. මෙය ලංකා දේශපාලන සහ සංස්කෘතික ඉතිහාසයේ එක්තරා නාට්‍යමය ජවනිකාවක් බඳුය.
මේ ආකාරයටම ව්‍යාපාරවල ඉහළට ගිය ඇතැම් කාන්තාවන් එසේ ගමන් ගත්තේ සිය සැමියාගේ අභාවයෙන් හෝ හැරයාමෙන් පසුවය. මෙසේ වන්නේ ඇයි? සෑම සාර්ථක පිරිමියෙකු පිටුපසම සාර්ථකත්වයට අත දුන් ගැහැනියක සිටිනවා යැයි කීවද සෑම සාර්ථක ගැහැනියක පසුපසම ඇත්තේ අසීමිත බාධා දුක් කම්කටොලු සහ තනිවීම්ය. එසේම බොහෝ විට පිරිමි අාධිපත්යයෙන් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ දෛවෝපගතව සිදු වූ වෙන්වීම්ය.
ගැහැනියකට පවුලක් සමඟ දරුවන් සමඟ ඉදිරියට එන්නට බටහිර රටවලටදී හැකි වුවද අපගේ වැනි රටවල නොහැකි වන්නේ ඇයි? එය පුරුෂාධිපත්‍යමය ආකල්ප දරන සංස්කෘතික වටපිටාව නිසාය. දේශපාලනයට එන්නට පිරිමියා මිය යා යුතුද? කලාවේ දුර ගමන් යන්නට සැමියා දික්කසාද විය යුතුද? නැත. ආකල්පයන් වෙනස් වන සමාජයක් තුළ එය කළ හැකිවන්නේ සාර්ථක පවුල් ජීවිත සමඟිනි. පියා විසින් දිරිමත් කරන දියණියක්, පෙම්වතා විසින් දිරිමත් කරන පෙම්වතියක්, සැමියා විසින් දිරිමත් කරන උදවු සපයන බිරිඳක් පුතා විසින් උදවු කරන අම්මා කෙනෙකු ඒ දුර ගමන ලෙහෙසියෙන් යනු ඇත.
අද ලෝකයට අවශ්‍ය කරන්නේ කුඩා කල පියා යටතේත් තරුණ කල සැමියා යටතේත් මහලු කල පුතුන් යටතේත් සිටිය යුතු ගැහැනුන් නොවේ. කුඩා කල දිරිමත් කරන පියවරුය. තරුණ කල දිරිමත් කරන, අනුබල දෙන සැමියන්ය. මහලු කල වුවද සිය සිහින කරා යන්නට උදවු කරන පුත්තුය.
සංජීවනී රූපසිංහ
ෙෂ්ඨ කථිකාචාර්ය දර්ශන අධයන අංශය
කැලණිය විශ්වවිලය