වර්ෂ 2025 ක්වූ June 09 වැනිදා Monday
හදවත් ලස්සන රුවැත්තියෝ

ඔබ මෙය කියවන විට 72 වැනි ලෝක රූ රැජන, කිරුළ පළඳා අවසන් විය හැකියි. මෙය ලියන විට ඔබ අප තවමත් සිටින්නේ මෙතෙක් ඉදිරියට ආ ලක් රූ රැජන අනුදි ගු ණසේකර ගැන අපේක්ෂා සහගතව මෙන්ම ආශීර්වාදාත්මක ප්‍ර්‍රාර්ථනා සහිතවයි.
ලක් රූ රැජන අනුදි , ආසියා - ඕෂනියා කලාපයේ තරගකාරියන් අතරින් Head to Head අභියෝගය ජයගෙන එම අවසන් 20 දෙනා අතරට ඇතුළත් වූයේ TOP 5 අතරට ද පැමිණෙමින්. Talent Round ඉසව්වෙන් ද එම අවසන් 20 දෙනා අතරට පැමිණීමට සමත් වූ ඇය , මෙවර ලෝක රූ රැජන තරගයේ එලෙස ඉසව් දෙකකින්ම අවසන් වටය සඳහා තේරීමට වාසනාවන්ත වූ එකම ආසියානු තරගකාරිය ද වූවා.
Head to Head වටයේ දී තමන් නියෝජනය කරන රාජ්‍යයේ යම්කිසි ප්‍රජාවක් මේ වන විටත් මුහුණ දෙමින් සිටින මෙන්ම තම හදවතට වඩාත් සංවේදී වූ කාරණය ඔවුන් ආමන්ත්‍රණය කළ යුතු වෙනවා.එම වටයේ දී ධම්ම පදයේ, සබ්බ පාපස්ස අකරණං...ගාථාවෙන් අරඹමින් ලක් රූ රැජන අනුදි ගුණසේකර, ඉතාමත් චතුර ලෙස සිය ඉදිරිපත් කිරීම කළ අයුරු ලොවම බලාසිටියේ උනන්දුවෙන් මෙන්ම ආදරයෙන්. එම විනාඩි කිහිපයේ දී ලාංකිකයන් ලෙස අපගේ සංස්කෘතික උරුමය, සභ්‍යත්වය මෙන්ම සදාචාරාත්මක ගුණාංග ගැන ද ලෝකයට පෙන්වා දෙන්නට ඇය සමත් වූවා. එමෙන්ම, තමන් මෙතෙක් ආ ගමන සිහිපත් කරමින් තමන් නිදහස් අධ්‍යාපනයේ පල නෙළාගත් අයෙක් බව ඈ කීවේ කෘතවේදී හැඟීමෙන් යුතුවයි." මගේ රටේ ජනතාව මූලික අධ්‍යාපනයේ පටන් උසස් අධ්‍යාපනය දක්වාම ලබා දෙමින් මාව පෝෂණය කර තිබෙනවා.ප්‍රජා සේවය මඟින් එය ආපසු ඔවුන්ට ලබාදීමට හැකිවනු ඇතැයි මා විශ්වාස කරනවා..." අනුදි සිය ඉදිරිපත් කිරීම කළේ., තිරසරව හා සන්සුන්ව මෙන්ම කිසිදු සබකෝලයකින් තොරවයි. තමන්ට වඩාත් සංවේදීව දැනුණු අපේ රටේ ඔසප් දරිද්‍රතාවයෙන් පෙළෙන,කතුන් වෙනුවෙන් "සහේළි පදනම" ඇතිකරමින් කාන්තාවන්ට
ශක්තියක් වූ අයුරු එහිදී ඇය පෙන්වා දුන්නා. එම ඉදිරිපත් කිරීම විශේෂයෙන් දෙස් - විදෙස් සමස්ත ලාංකික ප්‍රජාවගේ ආශීර්වාදය හා දිරිගැන්වීම සමඟ නව ජවයකින් පෙරට යන්නට ඇයට හේතු වූ බව පැහැදිලියි. Talent Round සඳහා ඇය ඉදිරිපත් කළ නර්තනය ද ඉතා ආකර්ෂණීයයි. ලෝක රූ රැජන තරගය වෙනුවෙන් ඇය ඉදිරිපත් කළ ආකර්ෂණීය මෙන්ම අරුත්බර හැඳින්වීමේ වීඩියෝව සියලු තරගකාරිනියන් සමඟ සසඳන විට යූටියුබයේ වැඩිම පිරිසක් නැරඹූ වීඩියෝව බවට ද පත්වුණා. මෙසේ බලන කළ ඇය දැනටමත් ලක්මවට කීර්තිය ගෙනැවිත්. අනුදිගේ ආදර්ශ පාඨය ලෙස Miss World වෙබ් අඩවියේ දැක්වෙන පාඨයේ අරුත, " අනාගතය ගැන පුරෝකථනය කිරීමට ඇති හොඳම ක්‍රමය නම් එය නිර්මාණ කිරීමයි " යන්නයි. ඇයගේ අධිෂ්ඨානශීලි ගමන්මඟ ඉන් පිළිබිඹු වනවා.
තරගකාරියන්ගේ ඉදිරිපත් කිරීමේ හැකියාව, කථිකත්වය, නායකත්ව භූමිකා මෙන්ම සංවිධානාත්මක දක්ෂතා ප්‍රකට කෙරෙන Head to Head තරග ඉසව්වේ දී සෝමාලියානු රූ රැජන ද ලෝකයේ අවධානය දිනා ගැනීමට සමත් වූ අයුරු දැකිය හැකිවුණා. අනුදි , ඔසප් දරිද්‍රතාව ගැන කතාකරන විට සෝමාලියාවේ ෂයිනබ් ජාමා කතා කළේ, එරට සංස්කෘතික සම්ප්‍රදායක් ලෙස පැවතෙන කාන්තා ජනනේන්ද්‍රිය ඡේදනයට (FGM) ලක්වීමේ ඇති අමිහිරි, වේදනාකාරී මෙන්ම අඳුරු පැතිකඩ ගැනයි. ෂයිනබ්ගේ ඉදිරිපත් කිරීම සෝමාලියාවෙන්ම බිහි වූ "කාන්තාරයේ කුසුම" වාරිස් ඩයිරි නිරූපිකාවගේ කතාව සිහියට නැංවූවා.
විනාඩි 7 ක පමණ කාලසීමාවක් සිය ඉදිරිපත් කිරීම කළ ෂයිනබ් කතාවේ ඉන් අඩක් පමණ ගතවෙද්දී සංවේදී වූයේ, සත් හැවිරිදි දැරිවියකව සිටිය දී ඉන් ඇය අත්විඳි කායික වේදනාව හා අදටත් තමන් පෙළන මානසික කම්පනය ගැන කීමට වෑයම් කළ අවස්ථාවේ දී. එතැන් සිට ඈ ඉදිරියට ගියේ පසෙකින් සිටි Miss World ප්‍රධාන විධායක නිලධාරිනී ජුලියා මොර්ලිගේ දිරිගැන්වීම නිසයි.
තම රටේ සමස්ත කාන්තා සංහතියම ජීවිතයේ යම් අවධියක දී මුහුණ දෙන මේ අමිහිරි අත්දැකීම ගැන ෂයිනබ් ලෝකයට කියද්දී එය කාන්තාවක ලෙස කොපමණ අසීරු දරාගැනීමක් වීද යන්න ඇයගේ මුහුණෙන් මනාව පිළිබිඹු වූවා. මේ තත්ත්වයට සෝමාලියානු කාන්තාවන්ගෙන් 98%ක් මුහුණදෙන බව ඈ පැවසුවේ ඉතිරි 2% නිසි වයස එළැඹෙන තෙක් ඉන් නිදහස්ව සිටින්නන් යැයි දක්වමින්. සෝමාලියානු කාන්තාවන් තම කැමැත්ත අකමැත්ත කෙසේ වුවද ඊට ලක් වන්නේ නිර්වින්දනය කිරීමෙන් හෝ තොරව මෙන්ම සෞඛ්‍යමය සුරක්ෂිත තත්ත්ව යටතේ නොවන බව ද ෂයිනබ් පැවසුවා. එය සිදු කරන්නන් සෞඛ්‍ය වෘත්තිකයන් ද නොවන පසුබිමක කෙටිකාලීනව මෙන්ම දිගුකාලීනව කාන්තාවන් පෙළන්නා වූ වේදනාව ගැන ද මෙහිදී ඇය සිහිපත් කළා. ඊට ලක් වීමෙන් පසු දින කිහිපයක් තමන්ට අඳුරු කාමරයක ගතකිරීමට සිදුවූ බව ද ෂයිනබ් පැවසුවේ හැඟුම්බරවයි.සෝමාලියානු කාන්තාවන් මෙම සම්ප්‍රදායට යටත් විය යුතු අතර, තමන් විඳි එම වේදනාකාරී අත්දැකීම ගැන මිලියන සංඛ්‍යාත එම කතුන් අතරින් මෙලෙස ප්‍රසිද්ධියේ පවසන්නට තරම් ධෛර්යයසම්පන්න වන්නේ අතළොස්සක් පමණයි.
සෝමාලියාවේ උපත ලැබූ ෂයිනබ් ජාමා මේ වන විට 33 හැවිරිදි වියේ පසුවෙනවා. ගුවන් සේවා ක්ෂේත්‍රයෙන් උසස් අධ්‍යාපනය හදාරා උපාධි ලැබූ ඇය, මානුෂීය කාර්යයන්හි ද නියැළෙනවා. සිය මෙහෙවර පිළිබඳ ඇය තැබූ සටහනක මෙසේ ද සඳහන්. " නිදි නැති රාත්‍රීන්, ප්‍රමාණයෙන් කිව නොහැකි තරම් පරිත්‍යාගයන්. එසේ වුවත්, ඒ සෑම මොහොතක්ම වටිනවා. ගමන අසීරුයි. ඒත්, මෙහෙවරයි වඩා උතුම්. මෙය අපේක්ෂා සහිතව සිහින දකින සියලු සෝමාලි දැරියන් වෙනුවෙන්..."
කාන්තා ජන්නේන්ද්‍රිය ජේදනයට ලක්වන්නේ සෝමාලියානු කාන්තාවන් පමණක්මත් නොවෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) මූලාශ්‍ර දක්වන පරිදි , අප්‍රිකාවේ, ආසියාවේ හා මැදපෙරදිග රටවල් 30ක පමණ කාන්තාවන් මෙම සම්ප්‍රදායට යටත්. සංඛ්‍යාත්මකව එය මිලියන 200 ඉක්මවා තිබෙනවා. ගැහැනු දරුවන් බොහෝවිට ඊට ලක්වන්නේ 15 හැවිරිදි විය එළැඹීමට කලින්. සම්ප්‍රදායක් වුව ද මෙය ගැහැනු ළමුන්ගේ හා කාන්තාවන්ගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බව WHO පෙන්වා දෙනවා. අනාරක්ෂිත තත්ත්ව යටතේ ඊට ලක්වීමෙන් මෙන් ඇතිවන අතුරු බලපෑම් හා සෞඛ්‍ය ගැටලු වෙනුවෙන් ප්‍රතිකාර කිරීම සඳහා සෞඛ්‍ය පද්ධතිය වසරකට ඇ.ඩොලර් බිලියන 1.4 කට වැඩි මුදලක් වැයකරන බව ද WHO පෙන්වා දෙනවා.
එක්සත් ජාතීන්ගේ මූලාශ්‍ර දක්වන පරිදි , මීට ලක්වන කාන්තාවන් වැඩිම රට සෝමාලියාවයි. එරට කාන්තාවන්ගෙන් 99% ක්ම ඊට මුහුණ දෙන බව එය පෙන්වා දෙනවා. මේ පිළිබඳ ප්‍රජාව සමඟ මෙන්ම ආගමික පූජක ප්‍රජාව සමඟ ද සාකච්ජා කරමින් දැනුම්වත් කිරීම හරහා මේ තත්ත්වය වෙනස් කිරීමේ ප්‍රයත්නයක ඔවුන් යෙදී සිටිනවා. සෞඛ්‍ය අංශවල මතය වී ඇත්තේ, කොවිඩ් වසංගත සමයේ මේ ප්‍රවණතාව වඩාත් ඉහළ ගොස් ඇති බවයි. පාසල් වසා දැමීම හේතුවෙන් නිවෙස් තුළ රැඳුණු ගැහැනු දරුවන් පහසුවෙන්ම මේ සඳහා යොමු කිරීම ඊට හේතුවයි.
මෙසේ බලන කල ලෝක රූ රැජන තරගය යනු හුදෙක්, ලොව සිටින රූමත්ම යුවතිය තෝරා ගැනීමම නොවන බව පැහැදිලියි.