වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
චිත්‍රපට සියගාණක රඟපෑවත් ඒ මොහොත නම් අමතක වෙන්නෙ නැහැ
මේ ලොව කිසිවකුට සමකළ නොහැකි සම්පත ආදරයයි. ලොව එවැනි වටිනා දෙයක් වේ නම් එහි හිමිකරුවා හෝ හිමිකාරිය වීම ලෙහෙසි පහසු දෙයක් නොවේ. සබීතා පෙරේරා එකී අභියෝගය ජයගත් තවත් එක් සුවිශේෂී කාන්තාවක්.
රංගනයෙන් ජනතාවගේ ආදරය දිනාගන්නා සබිතා දශක හතරක් පමණ ඒ ආදරය නොඅඩුව අත්විඳිමින් ජීවත්වෙන කලාශිල්පිනිකි. මේ ඇය ඔබ හමුවේ හෙළිකළේ ඔබගේ ආදරය හරිහම්බ කරගනිමින් පැමිණි ගමනේ මකාලිය නොහැකි මතකයයි.
සම්පූර්ණ නම මොකක්ද
වර්ණකුළසූරිය ඔස්වත්ත ලියනගේ සබිතා ජානකී පෙරේරා
සබිතා කියන නම තිබ්බෙ කව්ද
අරිසෙන් අහුබුදු ශුරීන් තමයි මටයි මගේ අරිසෙන් අහුබුදු ශූරීන් මටයි අක්කල දෙන්නටයි නම් තියල තියෙන්නෙ. පස්සෙ කාලෙක මම ප්‍රසිද්ධ වුණහම එතුමා මුණ ගැහුණ වෙලාවක අපේ තාත්තට කියල තියෙනව මට සබිතා නෙවෙයි සබීතා කියන්න කියල ඒක සුබයි කියල. සන්ධ්‍යා, සප්නා, සබිතා කියල මටයි අක්කල දෙන්නටයි 'ස' මුලට එන නම් තියල තියෙන්නෙ. අපේ නංගි විතරක් චන්දිමා. එයා ඉපදුණේ අපිට ගොඩක් පස්සෙ.
සබිතා ඉපදෙන්නෙ කොළඹද
ඔව්. අපි ඉපදුණේ කොළඹ. අපේ අම්ම කොළඹ ගල්කිස්සෙ. පස්සෙ අපි හැදුණෙ වැඩුණේ නම් වෙන්නප්පුවේ තාත්තාගේ ගමේ.
සබිතා පාසල් අධ්‍යාපනය පටන් ගන්නෙ
ගල්කිස්සෙ අම්මලගෙ ගෙදර අපි කාලයක් හිටියා. ඒ දවස්වල මම මොන්ටිසෝරි ගියේ විශාඛාවට. ලොකු අක්ක මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකාවට ගියා. අපේ අම්මයි තාත්තයි දෙන්නම සිනමාවට සම්බන්ධ අය නිසා පස්සෙ තාත්තට හිතෙන්න ඇති කොළඹින් ගමට යන්න ඕන කියල. ගමට ආවට පස්සෙ අපි තුන්දෙනාම වෙන්නප්පුව ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයට ඇතුළු කළා.
සබිතටයි අක්කලටයි ගමේදී නළු නිළි දෙපළකගේ දරුවන් විදිහටද සැලකුම් ලැබුණෙ
අම්මයි තාත්තයි සිනමාවට සම්බන්ධ නිසා ඒ අයගෙ දරුවන් විදිහට කව්රුත් සැලකිල්ලෙන් අපි දිහා බැලූවා. අපිට තිබුණේ ලොකු පොල්වත්තක් මැද්දෙ මැද මිදුලක් තිබුණ විශාල පරණ ගෙදරක්. අපේ ගෙදර වත්තෙ කෙලවරක පොල්ලෙලි දාපු ලොකු වතුර වලක් සහ ටිකක් එහායින් කැලෑවක් තිබුණා. අනිත් කෙළවරේ අපේ නැන්දගෙ ගෙදර. එහෙ නැන්දගෙ දරුවො ගොඩක් හිටියා. අපි හැමෝම එකතුවෙලා සෙල්ලම් කළා. අපේ ආච්චි රසට කෑම බීම හදපු කෙනෙක්. පොල්, කොස්, දෙල්, වැල වරකා වගේ ගමේ කෑම අපිට යහමින් රසට කන්න ලැබුණා. මතක් වෙනකොට ඒ රසය තවමත් මිහිරියි.
ළමා වියේ සබිතා දඟකාරියක්ද
පොඩ්ඩක්වත් දඟ නම් නැහැ. පොඩිකාලෙ මගෙ අක්කල දෙන්න කිසිම වෙලාවක මාව ඇඬෙව්වෙ නැහැ. මම අඬන්න පටන් ගත්තොත් නවත්තන්නෙ නැහැ බොරුවට හරි අඬනව. ඒ වෙලාවට තාත්තා කොළඹ ගිහින් හිටියොත් මම ලියුමක් ලියල තාත්තගෙ සරම ළඟ තියල තියනවා. තාත්තා ගෙදර ආපුහම ඒ ලියුම කියවල අක්කලට බනිනවා. මම ඒකට ආසයි.
නංගි ඉපදෙනකන් ගෙදර බඩපිස්සි විදිහට මම හුරතලේට හිටියෙ. ගෙදර අය මට කතාකළේ චුටි කියල. අදටත් මගේ පවුලෙ අය මට කතා කරන්නෙ චුටි කියල. නංගී හම්බවුණේ අවුුරුදු නවයක් ගිහින්.
අම්මයි තාත්තයි කලාවට සම්බන්ධ නිසා කලාකරුවන් නිතරම ගෙදරට යන්න එන්න ඇති
අනේ ඔව්. වෙන්නප්පුව පහුකරලා ගමන් බිමන් යන එන සිනමාවට සම්බන්ධ අය අපේ ගෙදරටත් ගොඩවෙලාම තමයි යන්නෙ. ඒකාලේ ජනප්‍රිය නළු නිළියන් ගොඩක් දෙනෙක් අපේ ගෙදර ආව ගියා වගේම තාත්තා නිතර අපිව ෂූටිං බලන්න කොළඹ එක්ක ගියා. සිනමාව අපිට පුරුදු තැනක් බවට පත්වෙන්න ඇත්තේ ඔය දේවල් නිසා වෙන්න ඇති.
සබිතාට රඟපාන්න ආසාවක් ඇතිවුණේ මේ ගමන් බිමන් නිසාද
මට අවුරුදු 2ක් හෝ 3ක් වෙත්දි මම රඟපාන්න පටන් අරන් තිබුණා.
එල්. එම්. පෙරේරා අංකල්ගෙ හතර කෙන්දරේ චිත්‍රපටයේ මම මගේ තාත්තගෙ දුව විදිහට රගපාලා තියෙනවා. ප්‍රවීණ සිනමා විචාරකයෙක් වන ජයවිලාල් විලේගොඩ හතර කේන්දරේ ගැන ලියපු විචාරයක හතර කේන්දරේ චිත්‍රපටයෙ ඔක්කොටම වඩා අර පොඩි නිළිය හොඳට රඟපාල තියෙනව කියල ලියල තිබුණලු. ඊට පස්සෙ ඉවසන දනා චිත්‍රපටයේ මම අම්මාගේ දුව විදිහටත් රඟපාල තියෙනවා. අපේ තාත්තා රෝයි ද සිල්වා එක්ක චිත්‍රපටක් අධ්‍යක්ෂණය කළා. ඒකෙත් පොඩි කැල්ලක මම හිටියා.
ඡායා - ශාන් රූපස්සර
2020/08/12 තරුණි පුවත්පත බලන්න