ඉතිහාසයේ වැඩිම නියෝජනය සිදු කරමින් ඔලිම්පික් උළෙලට ගිය අපේ ක්‍රීඩිකාවෝ

අගෝස්තු 25, 2021

 

මුළු ලෝකයම කොරෝනා වසංගතය හමුවේ දැඩි ලෙස අසරණ වී සිටියදී ජපානය ඉතාමත් සාර්ථකව අභියෝගාත්මක ලෙස ඔලිම්පික් උළෙල පවත්වා අවසන් කළේය. මෙවරත් අපේ රටේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ඉතාමත් දුෂ්කර කාල පරිච්ඡේදයක් ගෙවමින් වුවද ඔලිම්පික් උළෙල නියෝජනය කරන්න සුදුසුකම් සපුරා ගත්හ. ශ්‍රී ලාංකේය ක්‍රීඩා පිටිය කාලයක් තිස්සේ වැඩි වශයෙන් ආක්‍රමණය කර තිබුණේ ක්‍රීඩකයන් වුවද, දැන් එම තැන ගන්නට කාන්තාවෝද පෙරට පැමිණ සිටිති. මෙතෙක් අන්තර්ජාතික කෙළිබිමේ දැවැන්ත ක්‍රීඩා උළෙලදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩි සහභාගීත්වයක් ක්‍රීඩකයන් සතුකරගෙන තිබුණද නිමාවූ ටෝකියෝ ඔලිම්පික්උළෙල්දී එය කණපිට හැරුණි. මෙවර ඔලිම්පික් ගමනේදී ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8කගෙන් 5ක්ම ක්‍රීඩිකාවෝ වූහ. මෙය අපේ රටේ අන්තර්ජාතික ක්‍රීඩා නියෝජනයේ අලුත් ප්‍රවණතාවයකි.

 

අපේ දිය කිඳුරිය අනිකා ගපූර්

තායිලන්තයේ පූකට් දිවයිනේ පුහුණුවීම් සිදුකරන 17 හැවිරිදි අනිකා ගපූර් මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ළාබාලතම ක්‍රීඩිකාව වූවාය.

කුඩා කල සිටම දිය කිඳුරියක් සේ සුවිශේෂ දක්ෂතා ප්‍රදර්ශනය කළ මේ යෞවනිය 2019 වසරේ කොරියාවේ පැවැති ලෝක පිහිනුම් ශූරතාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කළාය.

 

ඇයගේ හොඳම ඉසව්ව වූ මීටර් 100 සමනළ ආර ඉසව්වෙන් දකුණු ආසියා ලෝකඩ පදක්කමක් හා මීටර් 100 මෙඩ්ලී සහය ඉසව්වෙන් රිදී පදක්කමක් දිනාගත් අතර මීටර් 50 හා මීටර් 100 සමනළ ආර ඉසව්වේ ජාතික වාර්තාවට හිමිකම් කියමින් සිටියදී ඇය ටෝකියෝ පිහිනුම් තටාකයට පිවිසියේ ලොව දැවැන්ත ක්‍රීඩිකාවන් සමඟය.

මීටර් 100 සමනළ ආර ඉසව්වේදී අනීකා ගපූර් මිනිත්තු 1:05.33කින් තරගය නිම කළ අතර ක්‍රීඩිකාවන් 33ක් අතුරින් 32වැනියා වූවාය. අනීකා පළමු වටයෙන්ම ඉවතට ගිය ද ඇයට ඔලිම්පික් උලෙළ හොද අත්දැකීමක් වූවා නිසැකය.

 

--------------------------

සූරියවැව දිරිය කාන්තාව නිමාලි

 

මලල ක්‍රීඩාවෙන් අවසන් මොහොතේ ඔලිම්පික් යෑමට වාසනාව උදාකරගත් සූරියවැව දිරිය කාන්තාව වූ මීටර් 800 ක්‍රීඩිකා නිමාලි ලියනාරච්චි ක්‍රීඩිකාවන් 46කගෙන් 43වැනි ස්ථානයට පත් වුවාය.

මීටර් 800 මූලික වටයේ තරග 5ක් පැවැති අතර නිමාලි සිවුවැනි මූලික වටයෙන් ටෝකියෝ ක්‍රීඩා සංකීර්ණයේ ධාවන මංතීරුවට පිවිසියාය. ඇය එම මුලික වටයේදී මිනිත්තු 2: 10. 23කින් 8වැනි ස්ථානයට පත්විය. ඇයට තම පෞද්ගලික හොඳම දක්ෂතාව හෝ පෙන්වීමට නොහැකිවීම පිළිබඳ තරගයෙන් පසු කණස්සල්ල ප්‍රකාශ කළාය.

ඇය මීටර් 800 කාන්තා ඉසව්වෙන් වසර 29කට පසු ඔලිම්පික් නියෝජනයක් ශ්‍රී ලංකාවට හිමි කරදීම විශේෂත්වයකි. මෙයට පෙර මීටර් 800 කාන්තා ඉසව්වෙන් ඔලිම්පික් උළෙ‍ෙලකදී ශ්‍රී ලංකාව නියෝජනය කොට ඇත්තේ 1992දී ශ්‍රියානී ධම්මිකා මැණිකේ බාසිලෝනා උළෙ‍ෙල්දීය.

 

--------------------------

ශ්‍රී ලාංකේය  වෙඩි පිටියේ ශූරිය ටෙහානි

 

ශ්‍රී ලාංකේය වෙඩි පිටියේ ශූරිය ලෙස කිරුළු දැරූ ටෙහානී එගොඩවෙල මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙල් කාන්තා මීටර් 10 වායු රයිෆල් ඉසව්ව නියෝජනය කළ අතර ඇය එල්ල කළ වෙඩි ප්‍රහාර මාලාවෙන් අවස්ථා 6කදී ලකුණු 611.5ක් වාර්තා වුණි.

මීටර් 10 වායු රයිෆල් ඉසව්වෙන් තරග වැදුණු ටෙහානි එගොඩවෙල ලොව දැවැන්ත ක්‍රීඩිකාවන් 50කින් 49වැනි ස්ථානයට පත්වූවාය.

---------------------

ආසියාවේ හොඳම ක්‍රීඩිකාවන් අතරට පිවිසි මිල්කා

ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ රිද්මයානුකූල ජිම්නාස්ටික් ඉසව්වට එක්වූ මිල්කා ගිහානිද සිල්වා අරියාකා ජිම්නාස්ටික් මධ්‍යස්ථානයේදී ඉන්දියාවට වඩා පියවරක් ඉදිරියෙන් සිටීම කැපී පෙණුනි.

මෙම මනස්කාන්ත තරගයට ලොව ප්‍රමුඛ පෙළේ ක්‍රීඩිකාවන් 38ක් එක්ව සිටි අතර මිල්කා ගිහානි අදියර හතරේදී ලකුණු 45.798ක් වාර්තා කළාය. 18 හැවිරිදි මිල්කා ගිහානි මෙම තරගයේ පිනුම් අශ්වයා ඉසව්ව ලකුණු 13. 666කින් නිමකොට ආසියාවේ හොඳම ක්‍රීඩිකාවන් කිහිප දෙනා අතරට පිවිස සිටීම හේතුවෙන් ඉදිරි ක්‍රීඩා දිවියේ බලාපොරොත්තු ඇති කිරීමට සමත්ව සිටින්නීය.

ඇය සිටින වත්මන් තත්ත්වය අනුව ඉදිරියේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය හා ආසියානු ක්‍රීඩා උළෙලදී පදක්කමක් දිනා ගැනීමටද හොද සටනක් දිය හැකි පසුබිමක් නිර්මාණය වුණි. ඇය භූමි වි‍යායාම ඉසව්වෙන් (Floor Exercise) ලකුණු 10. 866ක් ලබාගත් අතර අනෙක් ඉසව් දෙකේ දුර්වලතා හේතුවෙන් පසුපසට තල්ලු විය. සමබර දණ්ඩ ඉසව්වේදී (Balance Beam) අවස්ථා දෙකකදී සමබරතාව බිදී ගිය හෙයින් ලකුණු 11.266ක් හා අසම සම පෝල ඉසව්වේදී (Uneven bars) රිද්මයේ බිඳවැටීම් හේතුවෙන් ලකුණු 10.866කට සීමාවීමට සිදු විය.

රිද්මයානුකූල ජිම්නාස්ටික් ඉසව්වේදී ක්‍රීඩිකාවන්ගේ පැනීම්, සමබරතාවය, භ්‍රමණය, නම්‍යශීලිත්වය, උපකරණ හැසිරවීම සහ කලාත්මක ගුණාංග එක්කිරීම විනිශ්චයකරුවන් සැලකිල්ලට ගනු ලබන අතර සෑම අංශයකින්ම දක්වන දක්ෂතාවල ලකුණු එකතුවෙන් ජයග්‍රාහී ක්‍රීඩිකාව නම් කෙරේ. අවසානයේ රිද්මයානුකූල ජිම්නාස්ටික් ඉසව්වේ ක්‍රීඩිකාවන් 85න් මිල්කා ගිහානී ද සිල්වා 78වැනි ස්ථානයට පත් වූවාය. ජාතික ඔලිම්පික් කමිටුව මසකට අ‍ෙමරිකානු ඩොලර් 670 බැගින් ලබාදුන් ශිෂ්‍යත්වයක් අනුව ජපානයේ වැඩිදුර පුහුණුවට යොමු කෙරුණු මිල්කා ටෝකියෝ ඔලිම්පික් උළෙලින් පසු පුහුණුව සඳහා තවත් වසර දෙකක් ජපානයේම නවාතැන් ආරම්භ කළාය.

-----------------------------

ශ්‍රී ලාංකේය ක්‍රීඩා ඉතිහාසයට අලුත් පරිච්ඡේදයක් එක් කළ මැටිල්ඩා

වසර 1900ට පසු ඔලිම්පික් ඉතිහාසයේ අශ්වාරෝහක පැනීමේ ඉසව්වට ක්‍රීඩකයකු හෝ ක්‍රීඩිකාවක ශ්‍රී ලංකාවෙන් තරග බිමට පිවිස නැත. මැටිල්ඩා තනූජා කාල්සන් එම ඉසව්වෙන් ඔලිම්පික් සුදුසුකම් ලැබූ පළමු ශ්‍රී ලාංකේය ක්‍රීඩිකාව ලෙස ඉතිහාසයට අලුත් පරිච්ඡේදයක් එක් කළාය.

 

ටෝකියෝ ඔලිම්පික් උළෙලට ශ්‍රී ලංකාවෙන් සහභාගීවූ අවසන් ක්‍රීඩිකාව මැටිල්ඩා තනූජා කාල්සන්ගේ ‘චොපින් වා‘ අශ්වයා තරගයේ 8වැනි බාධකය පැනීමට අකැමැත්ත ප්‍රකාශ කොට හිතුවක්කාර ලෙස හැරී යෑමෙන් ඇයට තරගයෙන් ඉවත්වීමට සිදු වූවාය.

අශ්වාරෝහක පැනීමේ ඉසව්වේ බාධක 14න් මුල් බාධක පහම ඉතා සාර්ථකව මැටිල්ඩා අසු මෙහෙයවීමට සමත් වු අතර 6වැනි බාධකයේ පළමු උත්සහායේදී ‘චොපින් වා‘ අසු පැනීමට කම්මැළිවීමෙන් මුල්ම අභියෝගය එල්ල වූවාය.එහෙත් ඇය එම 6වැනි බාධකයේ දෙවැනි උත්සහය සාර්ථක කර ගැනීමට අසු මෙහෙයවූ අතර නව ජවයකින් 7වැනි බාධකය ද සාර්ථක කර ගත්තාය. අටවැනි බාධකයේදී ‘චොපින් වා‘ යළිත් හිතුවක්කාර ලෙස හැසිරී එම බාධකය පැනීමට අකැමැති වීමෙන් මැටිල්ඩාගේ හා ශ්‍රී ලංකාවේ අවසන් ඔලිම්පික් බලාපොරොත්තුව සුන් වී ගියාය.

වසර 1900ට පසු ඔලිම්පික් ඉතිහාසයේ අශ්වාරෝහක පැනීමේ ඉසව්වට ක්‍රීඩකයකු හෝ ක්‍රීඩිකාවක ශ්‍රී ලංකාවෙන් තරග බිමට පිවිස නැත. මැටිල්ඩා තනූජා කාල්සන් එම ඉසව්වෙන් ඔලිම්පික් සුදුසුකම් ලැබූ පළමු ශ්‍රී ලාංකේය ක්‍රීඩිකාව ලෙස ඉතිහාසයට අලුත් පරිච්ඡේදයක් එක් කළාය. මෙම තරගය වෙනුවෙන් ඇය ජර්මනියේ සිට යුරෝ මිලියන 6ක් (ශ්‍රී ලංකා මුදලින් කෝටි 142ක්) වටිනා අශ්වයකු ටෝකියෝ ඔලිම්පික් උළෙලට රැගෙන පැමිණ සිටීම ද කැපී පෙණුනි. මැටිල්ඩාට මෙය ඉහළම අත්දැකීමක් වූ බවත් මේ ලැබූ පන්නරයෙන් ලබන වසරේ ආසියානු පදක්කමක් දිනා ගැනීමට හැකි වනු ඇති බවත් ඇය තරගයෙන් අනතුරුව විශ්වාසය පළ කළාය.

ලෝකයටම ව්‍යසනයක් වූ කොරෝනා වසංගතය හේතුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නිසි පුහුණු සැලැස්මක් අනුව පුහුණුවීමට නොහැකි විය. ශ්‍රී ලාංකේය ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2019 සිට කිසිදු අන්තර්ජාතික තරගයකට ඉදිරිපත්වී නොමැති හෙයින් තරමක ආධුනික ගතියකින් සිටි බව පෙනෙන්නට තිබිණි. එහෙත් අන්තර්ජාතික කෙළිබිමේ අනාගත දක්ෂතා අතරට පැමිණීමට අපේ දිරිය දියණියන්ට මෙය අමතක නොවන අත්දැකීමක් වූ බව පැහැදිලිය.

 

 

 

 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.