වර්ෂ 2025 ක්වූ May 05 වැනිදා Monday
ලස්සන බස් එකේ පුංචි අයිතිකාරිය

“නෑදෑයෝ හා මගේ යාළුවෝ ආවා
නෑ නෑ නෑ දැන් ඉතින් විනෝදයේ සීමා
ලස්සන ලයිට් දමා බස් එක ආවා
කෝ මේ නඩේගු රා කස්තුරි මාමා
මේ දිනවල හැමෝම මුමුණන්නේ මේ ගීතය. රූපවාහිනිය, ගුවන් විදුලිය විතරක් නෙවෙයි සමාජ මාධ්‍යත් කැලඹු මේ ගීතය ගයන්නේ වයස අවුරුදු එකොළහක පුංචිම පුංචි දියණියක්. ඇඹිලිපිටියේ පදිංචි ඇය දිනුලි දම්සදි. දෙරණ ලිට්ල් ස්ටාර් හරහා ගායනයට පිවිසි ඇයව අද හැමෝම දන්නේ ට්‍රිප් එක ගීතය ගයන පුංචි ගායන ශිල්පිනිය විදිහට. මේ පුංචි ගායන ශිල්පිනිය තරුණී සමඟ කතා බහකට මුල පිරුවේ මේ විදිහට.
"මගේ ගෙවල් ඇඹිලිපිටියේ. මම යන්නේ ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයට. දැන් මම 6 ශ්‍රේණියේ ඉගෙන ගන්නවා. මට වයස අවුරුදු 11යි. මට ඉන්නේ අක්කයි නංගියි. අක්කා මිනුලි. එයා 10 ශ්‍රේණියේ. නංගි තිනුලි. එයා 4 ශ්‍රේණියේ. අම්මා සංගීත ගුරුවරියක්. අම්මා ගයානි දිල්රුක්ෂි. තාත්තා නැව් සමාගමක වැඩ කරන්නේ. තාත්තගේ නම කීර්ති රවින්ද්‍ර. අම්මා සංගීතය උගන්වන්නේ මම යන පාසලේම තමයි. "
ට්‍රිප් එක ගීතය නිසා දිනුලි දැන් හරි ජනප්‍රියයිනේ.....
මාව කවදාවත් දැකලා නැති අය පවා දැන් මාව දැක්කම කතා කරනවා. අර ට්‍රිප් එකේ සිංදුව ඔයාගේ නේද කියලා අහනවා. ඒ සිංදුව හරි ලස්සනයි කියනවා. කොහේ ගියත් ඒ හැම තැනකින්ම ඇහෙන්නේ මගේ ගීතය. ඉතින් මට හරි සතුටුයි. මේ සිංදුවෙන් පස්සේ රූපවාහිනී වැඩසටහන් කිහිපයකටම සම්බන්ධ වෙන්නත් අවස්ථාව ලැබුණා.
ට්‍රිප් එක සිංදුව හැදුනේ කොහොම ද?
තාත්තා තමයි කිව්වේ සිංදුවක් කරමු කියලා. ඊට පස්සේ තාත්තා ලසිත ජයනෙත්ති මාමව හොයාගෙන සිංදුවක් කරන්න ඕනේ කියලා කතා බහ කරගත්තා. එයා පොඩි අයට සිංදු ලියලම නැහැ. ඉතින් මාමා සෑහෙන්න කල්පනා කරලා තමයි මේක ලියලා තියෙන්නේ. මොකද පොඩි කෙනෙක්ට කරන සිංදුවක් හිට් වෙන්නේ හරිම කලාතුරකින්නේ. අවුරුදු දෙකක් විතර ගියා සිංදුව කරලා ඉවර වෙද්දි. දිල්ශාන් සිල්වා අයියගේ මෙලඩියට තමයි ලසිත මාමා මේ ලස්සන සිංදුව මට ලියලා දුන්නේ. ලක්ෂිත මාමා සිංදුව ලියලා සිංදුව එව්වම ඒ සිංදුව ට්‍රිප් එකක් ගැන වුණාම මට ගොඩක් සතුටු හිතුණා. මොකද මම ඇත්තටම හරිම ආසයි ට්‍රිප් යන්න.
මේ වීඩියෝ එකත් හරි විශේෂයි...
වීඩියෝ එක කලේ චාරුක් දුෂ්‍යන්ත මාමා. ලසිත මාමයි, චාරුක් මාමයි මේ විඩියෝ එකට ගැළපෙන විදිහට නළු නිළියන් තෝර ගත්තා. ලස්සන ලයිට් දාපු බස් එකක් ඇතුළේ තමයි රූගත කිරීම් කළේ. මේ වීඩියෝ එකේ සියලුම දර්ශන තල කොළඹ අවට. රූගත කිරීම් එක දවසින් ඉවර කළා. මම හරිම සතුටින් හිටපු දවසක් ඒක. ඒ දවස කවදාවත් අමතක වෙන්නේ නැහැ.
දිනුලිට මේ ගමන එන්න දෙරණ ලිට්ල් ස්ටාර් තරගයත් හේතුවක් වුණා.
මම සිංදු කියන්න පටන් ගත්තේ අවුරුදු තුනේ ඉඳලා. ඒ ගායනයට දෙරණ ලිට්ල් ස්ටාර් තරගයෙන් වටිනාකමක් ලැබුණා කියලා මට හිතෙනවා. මම දෙරණ ලිට්ල් ස්ටාර් සීසන් 9 තරගයට සහභාගි වෙද්දී මට වයස අවුරුදු තුනයි. ඒ තරගයට ගියාට පස්සෙයි මට තේරුණේ මට ලස්සනට සිංදු කියන්න පුළුවන් කියලා. අක්කා ඒකට ඉදිර්පත් වුණ නිසා මාත් නිකමට වගේ ඒකට ඉදිරිපත් වුණා. අක්කට වැඩි දුර යන්න බැරි වුණාට අක්කටත් හොඳට සිංදු කියන්න පුළුවන්. ඒකෙන් මට 8 වැනි ස්ථානය දක්වා යන්න පුළුවන් වුණා. ඊටපස්සේ මම දෙරණ ලිට්ල් ස්ටාර් සීසන් 11ටත් සහභාගි වුණා. ඒකෙන් තුන් වැනි ස්ථානය දිනා ගත්තා. එකෙන් පස්සේ තමයි සංගීතයෙන් තවත් ඉදිරියට යන්න මට අවස්ථාව ලැබුණේ.
දිනුලිට මුල් ගුරුවරිය වෙන්නේ අම්මා...
අම්මා සංගීත ගුරුවරියක්. ඉතින් එයාට ලස්සනට සිංදු කියන්න පුළුවන්. අම්මා තමයි අපි තුන් දෙනාටත් ලස්සනට සිංදු කියන්න ඉගැන්නුවේ. අපි හැමෝම ගෙදර ඉන්නකොට අපේ ගෙදරත් හරියට ඉස්කෝලේ සංගීත කාමරේ වගේ. සංගීත සම්බන්ධ වැඩවලට මාව එක්කගෙන යන්නේ මගේ තාත්තා. තාත්තා නැවට යන දවස්වලට ඒ දේවල් අම්මා කරනවා.
පාසලේ සංගීත ගුරුවරුත් මට ගොඩක් උදව් කරනවා. හඬ පුහුණුවීම් සඳහා බුද්ධික දයාරත්න සර්ගේ ක්ලාස් ගියා. ලිට්ල් ස්ටාර් තරගවලට පුහුණු වෙද්දිත් ඒ සර්ගෙන් ගොඩක් උදව් ලැබුණා. මේ අවුරුද්දේ ඉඳලා පාසලේදී සංගීතය විෂයයක් විදිහට හදාරන්න පටන් ගත්තා. තවම ක්‍රීඩා උත්සව අවසන් නැති නිසා තවම උගන්වන්න පටන් ගත්තේ නැහැ. හැබැයි පාසලේදී අම්මා නෙවෙයි මට උගන්වන්නේ. වෙනත් සංගීත ගුරුවරයෙක්. පාසලේ විදුහල්පති ඇතුළු ගුරු මණ්ඩලයටත් මම ස්තූති කරන්න ඕනේ. එයාලා මාව නිතර දිරි ගන්වනවා. මේ සිංදුව බලලා එයාලා මට ගොඩක් ප්‍රශංසා කළා.
දිනුලි කරපු වෙනත් නිර්මාණ ගැන කතා කළොත්
ලිට්ල් ස්ටාර් ජයග්රහණයෙන් පස්සේ මම කවර් සෝන්ග්ස් ගොඩක් කළා. ඒවා අතරින් කාංචනා අනුරාධි නැන්දාගේ කවර් සෝන්ග් එක ගොඩක් වයිරල් වුණා. ඒකට සෑහෙන ප්‍රතිචාරත් ලැබුණා. ඊට පස්සේ මට මගේම නිර්මාණ කරන්න අවස්ථාව ලැබුණා. සිංදු ලියන නැන්දලා මාමලා කිහිප දෙනෙක් මට කතා කරලා එයාලා ලියපු ගීත ගායනා කරන්න අවස්ථාව ලබා දුන්නා. එයාලා ඒ ගීත මට දුන්නේ තෑග්ගක් විදිහට. ස්වාමීන් වහන්සේලා දෙනමකුත් මට ගීත ලියලා දුන්නා. නිසසල රෑ, පත්තිනි, දේදුන්නක් පායලා, කිරි අම්මේ, පුරා හඳ අම්මා, අත්තම්මා සහ සුදු හඳහාමි මම කරපු ගීත. මේ නිර්මාණවලින් පස්සේ සංගීත ප්රසංගවලටත් ගොඩක් ආරාධනා ලැබුණා. මම කරපු හැම නිර්මාණයකටම වඩා ට්‍රිප් එක ගීතය ගොඩක් ජනප්‍රිය වුණා.
දිනුලි අනාගතයේදී කවුරු වෙන්න ද හීන දකින්නේ?
වෛද්‍යවරියක් වීම තමයි මගේ එකම බලාපොරොත්තුව. හැබැයි ඒ එක්කම සංගීතයත් දිගටම කරගෙන යන්න බලාපොරොත්තුවක් තියෙනවා. මොකද මම සංගීතයට හරි ආසයි. මම හැදී වැඩුණේ සහ ජීවත් වෙන්නේ සංගීතමය පරිසරයක් එක්ක. ඉතින් මම ආසයි දිගටම ඒ පරිසරයේ ඉන්න.