වර්ෂ 2025 ක්වූ May 05 වැනිදා Monday
පුරුෂ මූලික සමාජයක කඳුළු සැලූ උදුම්බරා

ආචාර්ය ධර්මසේන පතිරාජගේ ‘බඹරු ඇවිත්’ චිත්‍රපටයේ හෙලන් ලෙස මාලිනී ෆොන්සේකා ඉදිරිපත් කරන මනරම් රංගනය ඇගේ රංග චාරිකාවේ සුවිශේෂී අවස්ථාවක් වනවා මෙන්ම එම චිත්‍රපටයේ හෙලන් ගොදුරු වන ෙඛ්දවාචකය පුරුෂ මූලික සමාජයේ ස්ත්‍රි පොදුවේ මුහුණ දෙන තත්ත්වය කියාපෑමකි.
වැල්ලේම ඉපිද වැල්ලේම හැදී වැඩී, ධීවර කර්මාන්තයෙහිම යෙදෙමින් ජීවනෝපාය සකස් කරගත් තරුණියකගේ ජීවන අත්දැකීම් සකස්වනුයේ ගමේ තරුණියකගේ ජීවන අත්දැකීම්වලට මුළුමනින්ම ප්‍රතිපක්ෂවය. එබඳු තරුණියකගේ සිතුම් පැතුම් මෙන්ම. කතා ලතාවන් ද ගමන බිමන ද හැඟීම් ප්‍රකාශ කරන ආකාරය ද වෙනස්ය. ගමේ තරුණියකගේ හෝ නාගරික මධ්‍යයම පන්තියක හෝ පහළ මධ්‍යම පන්තියක හෝ වටිනාකම් පමණක් නොව සංස්කෘතික බැඳීම් ද වෙනස්ය. ‘බඹරු ඇවිත්’ චිත්‍රපටයේ හෙලන් එබදු සංස්කෘතික වටිනාකම් සහ බැඳීම්වලින් මිදුණු තරුණියකි. තමා පය ගසා සිටින ධිවර ගම්මානයේ පාරම්පරික ධිවරයන් සමඟ වෙළෙඳ යුද්ධයක පැටලී සිටින වික්ටර් බේබි මහත්තයා (විජය කුමාරණතුංග)ගේ නාගරික පෙනුම සහ උතුරා යන තාරුණ්‍යය හමුවේ හෙලන් වශී කෘත වෙයි. ඇය තුළ ඔහු කෙරෙහි ඇතිවන හැඟීම් නොවලහා තම මව සමඟ කියන්නට ඇය පසුබටවන්නේ නැත.
‘වික්ටර් බේබි මහත්තයා හරි හැඩයිනේ අම්මේ...”
‘බේබි මහත්තයාගේ තාත්තත් ඔය වගේමයි...ඒ කාලේ ළමිස්සියෙක් පේන්න බෑ..’
‘අම්මත් ඉතින් ඒ කාලේ ළමිස්සිනේ.. ‘ හෙලන් ඉවක් බවක් නැතිව කියයි.
තවත් විටෙක කලපුවේ තම මව සමඟ මාළු අල්ලන ගමන් හෙලන් මෙසේ කියයි.’
’අම්මේ බේබි මහත්තයා මට කැමැතියි කිව්වනේ..’
‘ඉතින් උඹ මොකද කිව්වේ?’
’මං මුකුත් කිව්වේ නෑ. මං මොනවද කියන්න ඕනේ..?’
‘උඹ එහෙම එකක් තියෙනවනම් වහාම හිතෙන් අස්කරගනින්. අර සිරිල් කොලුවා නහීවි.. හැමෝම හිතන් ඉන්නේ මේක තීන්දු කරලයි කියලයි.’
අම්මා එසේ කියද්දී හෙලන් මුවින් නොබැණ මාළු දැලත් කර පිටුපසින් එල්ලාගෙන ගමන් කරයි. ඇගේ ගමන් ලතාවෙහි ද ඇත්තේ නිදහස්කාමී බවකි. අම්මා කුමක් කීවත් ඒ වන විටත්, ඇය වික්ටර් බේබි මහත්තයාට සිතින් බැඳී අවසන්ය. ඇගේ සැහැල්ලු ගමන් ලතාවෙන් සහ සහ මුහුණෙන් ද පිළිබිඹු වන්නේද එබඳු හැගීමකි.
දිනක් වික්ටර් හදිසියේම හෙලන් සොයා වාඩියට ගොඩවෙයි. ඇගේ මවත් පියාත් ඒ මොහොතේ නැති බව දැන වහා ඇය වෙත ළං වෙයි.
‘මං උඹට කැමැතියි බං’ වික්ටර් එසේ කියමින් වහා ඇගේ අතින් අල්ලා ගනියි.
හෙලන් වහා වික්ටර්ගෙන් මිදී වාඩිය පිටුපසට යයි. එසැණින් ඇගේ මව වාඩිය දෙසට පැමිණෙයි.
’මොකෝ බං...?’
‘අම්මේ බේබි මහත්තයා ඇවිත්...’.
‘ඒ මොකටෙයි....?’
’අනේ මන්දා,,”
’අනේ මන්දා,” යන වචනය මුවින් පිටවෙද්දී හෙලන්ගේ සාත්වික අභිනයෙන්- වාචික අභිනයෙන් මෙන්ම ආංගික අභිනයෙන් ද හැඟීම් දෙකක් එකවර කියැවීමේ හැකියාව ප්‍රේක්ෂකයාට ලැබේ.
1 .වික්ටර් ඇගේ අත ඇල්ලීම නිසා ක්ෂණීකව හටගත් තැතිගැන්ම මවට වසන් කරන්නට ඇය දරන තැතයි.
2. වික්ටර් වරදකරුවකු නොකොට ඔහු නිදහස් කිරීමට ඇය තුළ පවතින වුවමනාවයි.
වික්ටර් නැවත වතාවක් හෙලන් සොයා වාඩියට පැමිණෙයි. එවර ඔහු පමිණෙන්නේ බෝට්ටුවකිනි. හෙලන් කොටු කර ගැනීමේ ඒකායන අධිෂ්ඨානය ඔහුගේ ශරීර භාෂාවෙන් කියවෙයි.
හෙලන් ද ඔහු අපේක්ෂාවෙන් සිටියාක් මෙනි. !
‘’හෙලන් කෝ බං තාත්තා..’
‘අම්මයි තාත්තයි ලෙල්ලමට ගියා..’යනුවෙන් හෙලන් පවසන්නේ වික්ටර්ට බාධාවකින් තොරව තමා වෙත ළං විය හැකි බවට ඉඟි කරමිනි. ඒ ඇසිල්ලෙන් වික්ටර් ඇය වෙත ළං වෙයි. විරෝධයකින් තොරව ඇය ද ඔහු වෙත සමීප වෙයි. අනතුරුව ඔහු, ඇය සමඟ වැල්ලේ වැතිරෙයි.
හෙලන් විවාහ කර ගන්නට අපේක්ෂාවෙන් සිටින සිරිල් හදිසියේම වාඩිය වෙත කඩා වදියි. ඒ සමඟම වාඩියෙන් පිටව යන වික්ටර් දැක ඔහු වියරු වැටෙයි. හෙලන් මරා තමාත් මැරෙන බවට තර්ජනය කරමින් සිරිල් කෑගසයි.
‘මොකද යකෝ කෑගහන්නේ..?’ හෙලන් ගේ පියා අසයි.
’අරූ මේකිව විනාශ කරලා....’
වහා හෙලන් වෙත එන පියා මෙසේ අසයි.
‘...ඇත්ත ද යකෝ අරූ කියන්නේ..?’
‘ඔවි !’ ඇය අවධාරණය කරන්නේ කිසිදු පැකිළීමකින් තොරවය.
’කොහාමද යකෝ... මං මේකේ ඉන්න එවුන්ට මුහුණදෙන්නේ..? ‘
’තාත්තා මුහුණදෙන්න ඕනෙ නෑ.... මං මුහුණ දෙන්නම්’’
පිරිමියෙකු අතින් කෙලෙසෙන ගමේ තරුණියකට හෝ මධ්‍යම පාන්තියක තරුණියකට මෙසේ තම පියා සමඟ මේ අන්දමින් බියක්, ලජ්ජාවක් නැතිව එකටඑක කියන්නට හැකි ද? එහෙත් එම අවස්ථාවේ හඬා වැටෙන්නට හෝ සුසුම් ළන්නට හෝ නොයන හෙලන්ට, තමා මුහුණදුන් අතවරයට තනිව මුහුණදෙන්නට තරම් ආත්මශක්තියක් ඇති බවට ඇය තුළ පවතින විශ්වාසය නොවේ ද ඇගේ වචනවලින් ගම්‍ය වන්නේ? මේ ආත්මවිශ්වාසය, දැඩි බව ආදී සියලු ගතිලක්ෂණ තුළින් කියාපාන්නේ වැල්ලේ ගැහැනියකගේ අභ්‍යන්තරය නොවේ ද? ඒ ගතිලක්ෂණ ඉතා මැනවින් නිරීක්ෂණයය කරමින් හෙලන්ගේ චරිතය මූර්තිමත් කරන්නට මාලිනී ෆොන්සේකා සමත් වන්නීය.
ධිවර ගම්මානයට අලුතින් පහත්වන වික්ටර් සහ එම ගම්මානයේ එතෙක් ආධිපත්‍යය දැරූ ඇන්ටන් අතර ඇවිෙළන යුද්ධය හමුවේ එතෙක් එහි තිබූ සාමකාමී ජීවන රටාව උඩුයටිකුරු වී ජීවිත කිහිපයක් මරුමුවට පත්වෙනවා පමණක් නොව අවසානයේ වික්ටර් ආපසු නගරයට යන්නට ද සැරසෙයි. එතැනට පැමිණෙන හෙලන් අමතා වික්ටර් මෙසේ කියයි.
‘මං ටික දවසකට කොළඹ ගිහින් එන්න යනවා’
‘එතකොට මට මොකද වෙන්නේ..?’
වික්ටර් පිළිතුරක් නොදී කොළඹ බලා යන බෝට්ටුවට ගොඩවෙයි.
වැල්ලේ තනිවන හෙලන්ගේ දෙපා බිඳී එන රළ පහරකින් දෝවනය වෙයි.
‘උදුම්බරා කඳුළු සලයි .....’ යනුවෙන් පසුබිමෙන් ගැයෙයි.
‘උදුම්බරා හිනැහෙනවා.. ඉර අවරට හැංගෙනවා ..’ ගීතය චිත්‍රපටයේ ආරම්භයේදී , අවසානයේදී මෙන්ම ප්‍රබල සිදුවිම් කිහිපයක් අතරතුර අර්ථාන්විතව යොදා ගෙන තිබිණි. එහි පද රචනය, (ඩබ්. ජයසිරි)සංගීතය, (ෙප්‍ර්මසිරි කේමදාස) ගායනය (ටී. එම්. ජයරත්න- සුනිලා අබේසේකර) ආදී සියල්ලම අපූර්ව ලෙස චිත්‍රපටයේ සමුත්‍රර්ථය කුළුගන්වයි.