වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
බර වාහන එක්ක හැපෙන අම්බලන්තොට පුංචි කෙල්ල සංජනා
කොන්ද, අත පය කැක්කුම ආවට මගේ ගමන නවත්වන්නේ නැහැ
සියුමැලි දෑතට හුරු වුණු සාම්ප්‍රදායික රැකියා බොහෝ ප්‍රමාණයක් තිබෙනවා. මැහුම්, ගෙතුම්, රූපලාවණ්‍ය, සූපවේදය, පරිගණක ක්‍රියාකරවන්නියක් වෙන්න තමයි සෑම යුවතියක්ම සිහින මවන්නේ... හැබැයි සියුමැලි දෑඟිලිවලට නුහුරු යතුරු කට්ටලයක්, ඔවර්රෝල් ඇඳුමක් ඇඳගත්තු දෑත පුරාම මජන් ගා ගත්තු සුන්දර යුවතියක් අපට හමුවන්නේ හරිම කලාතුරකින්. සමහර විට එවැනි යුවතියක් සෙවීමත් කළුනික සොයනවා වගේ වැඩක්. අපට එවැනි දුලභ රැකියා ක්ෂේත්රයක් සඳහා පුහුණු වෙන සුන්දර යුවතියක් පසුගිය දිනක හමුවුණේ අම්බලන්තොට ශ්‍රී ලංකා
ගමනා ගමන මණ්ඩලයේ ඩිපෝවේදී. අවුරුදු විස්සක් පමණ වූ ඇය සංජානා ගමගේ.
හරිම හැඩකාර මේ තරුණ දියණිය සාම්ප්‍රදායික රාමුවෙන් එහා සිතන වෙනස්ම චරිතයක්. ඒ විතරක් නොවෙයි ඇය පුංචි කාලේ පටන්ම මෝටර් රථ කර්මාන්තය ඉගෙන ගන්න සිහින දුටු යුවතියක්. ඇය පුංචි කාලේ පටන්ම මවපු සිහිනය අද ඇය සැබෑ කරගෙන තිබෙන්නේ සෑම තරුණියකටම ආදර්ශයක් වෙමින්. සෑම තරුණියක්ම සිතනවාට වඩා වෙනත් විදිහට සිතන ඇය ඒ සිතුවිලි සැබෑ කරගත් අයුරු දැනගන්න අපි අම්බලන්තොට ඩිපෝවට පිවිසුණා. සුවිශාල ලේලන්ඩ් බස් රථ අලුත්වැඩියා කරන කාර්මිකයෝ අතර ඇයත් හරි හරියට ඒ වැඩවලට සහයෝගය දක්වන්නේ හරිම උනන්දුවෙන්. පිරිමි කාර්මිකයන් ගොන්නක් සමඟ ඇය ඉතාම ආශාවෙන් මේ ලබන පුහුණුව ගැන ඇය අපට පැවසුවේ මහත් සතුටින් හා කැමැත්තෙන්.
ඇත්තටම සංජානා රූපලාවණ්‍ය, සූපවේදය, ගෙවතු වගාව වගේ පහසු රැකියාවක් කරන්න උනන්දු නොවී මේ වගේ ක්ෂේත්රයක් තෝරා ගන්න ඇයි ඔබ හිතුවේ කියලා කියන්නකෝ.
ගැහැනු ළමයෙක් කියලා අමාරු වෘත්තීන් අතහරින්න බැහැනේ... මේ සෑම දෙයක්ම අපි ඉගෙන ගන්න ඕනේ. එතකොට තමයි අපේ වටිනාකම වැඩි වෙන්නේ. තමුන්ගේම වාහනයක යනකොට කැඩුණොත් ඒක හදාගන්න, තව කෙනෙකුට අතපාන්නේ නැතුව තමුන්ටම කර ගන්න පුළුවන් නම් ඒ වෙලාවට ඒක කොයි තරම් වටිනවා ද? හැබැයි අපි මෙතන නම් හදන්නේ බර වාහන. ඒවා අලුත්වැඩියා කරන එක නම් ටිකක් අපහසුයි.
මෙතනට එන වාහනවල ගෑස්කට් ගහන්න, ටයර් මාරු කරන්න, බ්රේක් හදන්න, ඔයිල් මාරු කරන්න, ජියර් බොක්ස් තියන්න වගේ ටිකක් අමාරු වැඩ තමයි මෙතන තියෙන්නේ. හැබැයි අමාරු වුණාට මේ වගේ දේවල් ඉගෙන ගත්තොත් අපේ වාහනයක් කැඩුණු වෙලාවට හදා ගන්න අමාරු වෙන්නේ නැහැ.
එතකොට සංජානා ඔබ මේ ඩිපෝවේ පුහුණුවට එන්නේ කොහොම ද?
මම පාසල් ගියේ අම්බලන්තොට ථේරිපුත්ත ජාතික පාසලට. උසස් පෙළ විෂයට තෝරා ගත්තේ ඔටෝ මොබයිල් ඉංජිනේරු තාක්ෂණවේදය. ඇත්තටම මගේ ලොකු ආසාවක් තිබුණේ ඇඳුම් නිර්මාණ ශිල්පය හදාරන්න. නමුත් කෝවිඩ් නිසා පංති යන්න ක්‍රමයක් නැති වුණා. ඒ නිසා ගණිත විෂය අමාරු වුණා. අන්තිමට මාස හයක් විභාගයට තියෙද්දි මම ඔටෝ මොබයිල් ඉංජිනේරු තාක්ෂණවේදය විෂය හදාරන්න තෝරා ගත්තා. අපේ උසස් පෙළ ප්‍රතිඵල එන්නත් කලින් අපට ශ්‍රී ලංකා ජාතික ආධුනිකත්ව මණ්ඩලයෙන් මේ පුහුණුවට විසිදෙනෙක් තෝරා ගත්තා. ඒ විසි දෙනාගෙන් මමයි තව මගේ යෙහෙළියෙකුයි විතරයි ගැහැනු ළමයින්ට හිටියේ.
සංජානා දැන් මෙතනට ඇවිත් මොනවද ඉගෙන ගත්තේ?
මම මෙතනට එන්න කලින් ගෙදර තාත්තාගේ කැබ් එක රෙපයාර් කරනකොටත් උදවු කරනවා. හැබැයි මේ වගේ ලොකු වැඩ නොවෙයි. ඔය පුංචි පුංචි රෙපයාර් වැඩ තමයි කළේ. නමුත් ඔටෝ මොබයිල් කියන්නේ පෙට්‍රල්, ඩීසල් හෑම වාහනයක්ම හදන්න දැන ගන්න ඕනේ. ඒ වගේම තව ඉලෙක්ට්‍රික් වැඩ තියනවා. ගෑනු ළමයෙක් කියලා මම ඒ වැඩ අමාරුයි කියලා අතහැරියේ නැහැ. හැම දෙයක් ඉගෙන ගත්තා.
මෙතනින් පස්සේ ඔබේ ඉලක්කය මොකක් ද?
ඇත්තටම අපි හැම දෙයක්ම ඉගෙන ගත්තොත් අපතේ යන්නේ නැහැ කියලා අපේ තාත්තයි, අම්මයි හැම වෙලාවෙම කියනවා. තාත්තා ක්‍රීඩා ගුරුවරයෙක් නිසා එයා අපට නිදහස දුන්නා. ඕනෑම දෙයක් ඉගෙන ගත්ත.
ඔබ මේ ක්ෂේත්රය තෝරා ගත්තා වගේම ඔබ වගේම මෙවැනි වෘත්තීන් ඉගෙන ගන්න ආසා තරුණියන් ඇති. ඒ අයට ඔබ දෙන පණිවුඩය මොකක් ද?
ඇත්තටම මම වගේ මෙවැනි පාඨමාලාවක් කරන්නට ඕනේ නැහැ. තමුන්ගේ ගෙදර තියෙන වාහනය හදාගන්න ඉගෙන ගත්තත් ඒක හරිම වටිනවා. අපේ සමාජයේ මතයක් තියෙනවා ගැහැනු දරුවෙකුට මේ රැකියාව අමාරුයි... ගැළපෙන්නේ නැහැ කියලා. නමුත් මම හිතන්නේ ඕනෑම දෙයක් මුලින් අමාරුයි. නමුත් අමාරුවෙන් හරි ඉගෙන ගත්තොත් ලොකු වටිනාකමක් තියෙනවා. අපි ඕනෑම කෙනකුට ආත්ම විශ්වාසයෙන් උනන්දුවෙන් වැඩ කරන්න පුළුවන් නම් බැහැයි කියලා දෙයක් නැහැ.
මම මුලින්ම මේ පුහුණුවට ආපු දවස්වල නම් වැඩ කළාම කොන්ද රිදෙනවා. අත පය කැක්කුමයි... ටික දවසකින් ඒ ඔක්කොම හරි ගියා. අපට මේ ලැබුණු පුහුණුව සාමාන්‍යයෙන් අවුරුදු දෙකක අංගසම්පූර්ණ පාඨමාලාවක්. අපි උසස් පෙළ විෂයට ඔටෝමොබයිල් ඉංජිනේරු විෂය ඉගෙනගෙන තියෙන නිසා අපට මේ පාඨමාලා මාස හයකින් සම්පූර්ණ කරන්න ලැබුණා. දැන් අපේ උසස් පෙළ ප්‍රතිඵලත් ඇවිත්. පාඨමාලාවත් අවසන්. ප්රතිඵලයි පුහුණුවයි අපට දෙකම දැන් ලැබිලා. ඒක ලොකු වාසනාවක්.